ජාතික ජන බලවේගය ලෙස අපි නියෝජිත සමුළුව එළඹෙන 20වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. අපි කවුරුත් දන්නවා, මේ වනවිට ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු දෙකක් ඉක්මවා පාර්ලිමේන්තුවේ කාලය වර්ෂයක් ඉක්මවා තිබෙනවා. ජනාධිපතිවරණයේදී, පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ පාලක කණ්ඩායම රටට පොරොන්දු රාශියක් ලබාදුන්නා. නීතියේ විධානය සහ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීම, ආර්ථික සංවර්ධනය ඇති කිරීම, ගොවි ජනතාවට සහනධාර ලබාදීම, රැකියා ලක්‍ෂ ගණනක් ලබාදීම ආදී ප්‍රායෝගික නොවන අපේක්‍ෂාවන් පවා ජනතාවට ලබාදුන්නා. නමුත් ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ, ඉතා වේගයෙන් ජනතාවගේ අප්‍රසාදයට මේ අය පත්වී සිටිනවා. ඊට ප්‍රධානම පදනම වී තිබෙන්නේ ආර්ථික අර්බුදයයි.
අපේ ඉතිහාසයේ ඇතිවී තිබෙන ගැඹුරුතම අර්බුදයට ආර්ථිකය මුහුණදී සිටිනවා. මාධ්‍ය මගින් වාර්තා කරන ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 1,500කට වඩා වරායේ හිරවී තිබෙනවා. විදේශ ණය වාරිකයන් ගෙවා ගැනීමට බැරි තත්වයක් ඇතිවීමේ අනතුර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවී විශාල ලෙස මිල ඉහළ ගොස් තිබෙනවා. විවිධ ආනයනික සීමාවන් ආණ්ඩුවෙන් පනවා තිබෙනවා. ගොවි ජනතාවට නිසි ප්‍රමිතියෙන් යුත් යෙදවුම් ලබාදීමට අසමත් වී තිබෙනවා. සමාජයේ සෑම තලයකම පුද්ගලයන්, සෑම ක්‍ෂේත්‍රයකම පුද්ගලයන් අද මෙම තත්වයන් අත්විඳිමින් සිටිනවා. මේ නිසා රටේ මහජනතාව අලුත් වෙනසක් අපේක්‍ෂාවෙන් කතා කරන්න පටන් ගෙන තිබෙනවා. කොවිඞ් වසංගත තත්වය තුළ පවා වංචාව-දූෂණය සිදු කළ බව හෙළිවී තිබෙනවා. පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා ගනු ලැබූ තීන්දු වංචා-දූෂණවලින් ගහණ වී තිබෙනවා. සීනි බදු වංචාව, ඇතුළු බදු වංචාවන් රැසක් සිදුකර තිබෙනවා. මේ නිසා අපේ රටේ ජනතාව වංචාව-දූෂණය සහ නාස්තියෙන් තොර පාලනයක් අපේක්‍ෂා කරනවා. රාජ්‍ය ආයතන පද්ධතිය අකාර්යක්‍ෂම වී රාජ්‍ය ව්‍යාපාර විශාල වශයෙන් පාඩු ලබන තත්වයට පත්වී තිබෙනවා. රාජ්‍ය දේපොළ විකුණමින් තිබෙනවා. ලෝකයේ විවිධ කොන්දේසිවලට යටත්ව දණින් වැටී ණය ගැනීමට සිදුවී තිබෙනවා. සෑම අතින්ම අසාර්ථකත්වයට පත් රටක් ඉතිරි කර තිබෙනවා.
දැන් ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවකට වඩා ප්‍රශ්නවලින් ගොඩ ඒම සඳහා විසඳුමක්. සාම්ප්‍රදායික ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ එක්සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂා කළ පිළිතුරු වර්තමානයේ අපේක්‍ෂා කරන්නේ නැහැ. ආණ්ඩුව කෙරෙහි කලකිරීමට ලක්වී තිබෙනවා හා සමානවම එක්සත් ජාතික පක්‍ෂය හා එයින් කැඩී ගිය කණ්ඩායමත් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ජනතාව නව විසඳුම් මාවතක් කෙරෙහි පෙළගැසෙමින් සිටිනවා. සාම්ප්‍රදායික බල හුවමාරුව වෙනුවට අලුත් පන්නයේ බල හුවමාරුවක් ගැන සියලු දෙනා විශාල පිපාසයකින් පෙළෙනවා. වංචා-දූෂණවලින් තොර, ඒ අයගේ දේපළ පවාගෙන දඬුවම් ලබාදෙන, ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය උසස් කර, නීතියේ ආධිපත්‍යය තහවුරු කර සාමකාමී රාජ්‍යයක් ගොඩනැගීමේ පිපාසයකින් පොදු ජනතාව පෙළෙනවා. මෙතෙක් අප රටේ තිබුණේ එක් පක්‍ෂයක් ප්‍රතික්‍ෂේප වන විට අනෙක් පක්‍ෂය බදා වැළඳ ගන්න ඉතිහාසයක්. අලුත් පාලක, අර්බුදයට විසඳුම් දෙන, බිඳ වැටුණු මව්බිම ගොඩනැගීමේ බලවේගය වන්නට ජාතික ජන බලවේගය සූදානම්. සාම්ප්‍රදායික බල හුවමාරුවෙන් සහ ඔළුගෙඩි මාරුවෙන් එහාට යන ප්‍රතිපත්තිමය වෙනසක් වෙනුවෙන් ජනතාව පෙළගැසෙනවා. බිඳවැටුණු මව්බිම ගොඩනැගීමේ විසඳුම බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ සහ බිඳවැටුණු මව්බිම ගොඩනැගීමේ අභියෝගය බාරගන්න අපි සූදානම්.
නීතිඥ සංගම්, ඉංජිනේරුවන්, කෘෂි විද්‍යාඥයන්, ග්‍රාමීය ජනතාව, වෘත්තීය සංගම්, එක් කරගෙන අපි දීර්ඝව සාකච්ඡා කළා. මේ රට ගොඩනැගීම එක් එක් පුද්ගලයාගේ තනි තනි අභිලාෂයක් නොවේ. මේ රටේ යහපත් වෙනස්වීමක් අපේක්‍ෂා කරන බලවේග එක තැනකට කැඳවිය යුතුයි. ඒ මධ්‍යස්ථානය තමයි ජාතික ජන බලවේගය. මෙතෙක් සිදුකරන ලද සංවාදයන් තුළින් වැඩපිළිවෙළක් සහ එම කණ්ඩායම එළිදැක්වීම මූලික පරමාර්ථය කරගෙන ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව 20වැනිදා අපි පවත්වනවා. සෞඛ්‍ය හේතුන් මත සියලු දෙනාටම ආරාධනා කරන්න නොහැකි වී තිබෙනවා. ඒ නිසා ඒ ඒ ක්‍ෂේත්‍රවලින් හඳුනා ගත් නියෝජිත කණ්ඩායම් කැඳවා මේ සමුළුව පවත්වනවා. ජනවාරි මාසයේදී දිස්ත්‍රික් මට්ටමින් නායකත්ව මණ්ඩල හඳුන්වා දෙන්න අපි සැලසුම් කර තිබෙනවා. මේ අභියෝගය ජයග්‍රහණය කරන්න ඉහළින් එකතු වෙන කණ්ඩයම්වලට විතරක් බැහැ. ලක්‍ෂ ගණන් එකට පෙළගැස්සුවොත් විතරයි මේ අභියෝගය ජයගත හැකි වන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වගේම ග්‍රාමීය, නාගරික සහ සියලු ක්‍ෂේත්‍රවල සිටින ජනතාව එක මධ්‍යස්ථානයකට අපි කැඳවනවා. නාගරික වශයෙන් පමණක් නොවෙයි ග්‍රමීය වශයෙන් ජනතාව බලගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ජනතාවත් එක්ක සංවාදයේ යෙදීම, අදහස් හුවමාරු කර ගැනීම තුළින් විශාල මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ දක්වා ගමන් කළ විනාශකාරී මාවත වෙනුවට විසඳුම් සෙවීමේ මාවතට අපි ජනතාව කැඳවනවා.
මෙම කලාපයේ ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්වයකට රට ඇදදමා තිබෙනවා…
අධිනීතිඥ ලාල් විජේනායක මහතා
වසර 73ක් පුරා සේනානායක පවුල, බණ්ඩාරනායක පවුල, ජයවර්ධන සහ දැන් රාජපක්‍ෂ කිසිම වෙනසක් නැති දේශපාලනයක් රට තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අපේ රට අද වෙනකොට මෙම කලාපයේ ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්වයට ඇදදමා තිබෙනවා. නිදහස ලබා ගන්නා විට ජපානයට පමණක් දෙවැනි වෙන තත්වයක හිටියේ. ආර්ථික අතින් බිඳවැටී මානව හිමිකම් පැත්තෙන් ඉතාමත් ඛේදනීය තත්වයකට පත්වී සිටිනවා. පොලිස් අත්අඩංගුවේ සිටින අය, සිරකරුවන් මරා දමමින් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ විවාදවලින් පෙනී යන්නේ මොන තරම් කඩාවැටීමක් සිදුවී තිබෙනවාද යන්නයි. අපි ඉදිරියේ තිබෙන ප්‍රධානම අභියෝගය බිඳවැටුණු රට ගොඩගන්නේ කොහොමද කියන එකයි. මොන තරම් බිඳවැටිලාද කියනවා නම් අපේ රටේ උගත් දක්‍ෂ තරුණයින් පිටරට යන්න බලාගෙන ඉන්නේ. මේ නිසා ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මෙම 20වැනිදා සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් ජනතාවට ඉදිරිපත් කරන අතර අපගේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වය මණ්ඩලයක් ප්‍රකාශයට පත්කරනවා. ලංකා ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් සිදුකරන පළවැනි අවස්ථාව මෙයයි. ජනතාවට බලය පැවරීම තුළින් රට පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කරනවා.
රටට අවශ්‍ය තීරණාත්මක වෙනස සිදුකිරීමට සියලු දෙනාටම ආරාධනා කරනවා…
ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය
අපි මුල ඉඳන්ම ප්‍රමුඛතාවය දුන්නේ විවිධ ජන කොටස් සමග සාකච්ඡා කරමින් රට ඉදිරියට ගෙනයාම පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කිරීමටයි. පසුගිය අවුරුද්දක කාලය තුළ පැවති තත්වයන් ඉක්මනින් වෙනස් වුණා. මේ කාලය තුළ මිනිස් ජීවිත කොතරම් අසීරු සහ අස්ථාවරද කියන දේ පැහැදිලි වුණා. හඬා වැළපෙමින්, ප්‍රශ්නවලින් මිරිකුණු අසහනයෙන් පෙළෙන මේ සියල්ල කියාගන්න තැනක් නැති තත්වයකට ජනතාව පත්වී සිටිනවා. කොවිඞ් වසංගතය මැද්දේ වුණත් පවතින සීමාවන් තුළ අපේ විසඳුම් එක්ක ජනතාව රට වෙනස් කිරීමේ මාවතකට පෙළගස්වන්න අපේ නියෝජිත මහ සමුළුව පවත්වනවා. සාමූහික ප්‍රයත්නයකින් යුත් තීරණාත්මක වෙනසක් අවශ්‍යයි. ආර්ථික ක්‍රියාවලියෙන් වගේම දේශපාලන ක්‍රියාවලියෙන් මගහැර යන තත්වයකට ජනතාව පත්වී සිටිනවා. මේ නිසා ජනතාව මේ ක්‍රියාවලියට නැවත සහභාගි කර ගැනීම අපේ අරමුණයි. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයක් මේ රටට අවශ්‍යයි. මේ නිසා අපිත් එක්ක එකතු වෙන්න කියලා සියලු දෙනාටම ආරධනා කරනවා. අපි අතර වාද විවාද, වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් අපිට එකඟ වෙන්න සහ එකතු වෙන්න පොදු තැන් තියෙනවා. ඒ විශ්වාසය මත මේ රටේ ජනතාවට නැවත බලාපොරොත්තුවක් වෙන්න, රට වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය නැවත ඇති කරන්න මේ සමුළුව පවත්වනවා. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු කර ගන්නා පළමු පියවර 20වැනිදා තබනවා.
රෙට හැර නොගොස් රට ගොඩනැගීමට එකතු වෙන්නැයි තරුණ පරපුරෙන් ඉල්ලනවා…
වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා
අපේ රට තියෙන්නේ ඉතාමත්ම තීරණාත්මක මොහොතකයි. 1505දී පෘතුගීසීන් අපේ රට ආක්‍රමණය කරලා මුහුදුබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ අණසකට ගත්තා. ඉන් අවුරුදු 150කට පස්සේ ලන්දේසි ආක්‍රමණය අවා. ඊට පසුව පැමිණි ඉංග්‍රීසින් අපේ රට මුළුමනින්ම යටත් කර ගත්තා. දැන් සිදුවෙමින් තිබෙන්නෙත් මේ කඳවුරු දෙකම රට පාලනය කිරීමෙන් පසුව ගෙනත් තිබෙන්නෙත් ඒ තත්වයටයි. මේ අය විවිධ රටවල් සහ සමාගම් එක්ක ඇති කරගෙන ගිවිසුම් නිසා ඉදිරියේදී මහත් ව්‍යසනයක් ඇතිවෙන බව පැහැදිලියි. මේ නිසා ජාතික විද්වත් සංවිධානය හැටියටත්, ජාතික ජන බලවේගය හැටියටත් ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළ ජනතාවගේ සංවාදයට ලක් කරන්න කටයුතු කරනවා. පසුගිය ජනාධිපතිවරණයෛ්දී සහ මහ මැතිවරණයේදී ජනතාව විශාල වශයෙන් ඡන්දය පාවිච්චි කළේ විශාල බලාපොරොත්තුවක් ඇතිවයි. නොයෙකුත් වරප්‍රසාද, රැකියා ලැබිම්, නිවාස ලබා ගැනීම වෙනුවෙන් මේ දෙපිරිසට ඡන්දය පාවිච්චි කළ විශාල පිරිසක් හිටියා. ඒ අතරේ ආණ්ඩුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ රට ආරක්‍ෂා කිරීමේ බලාපොරොත්තුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ සහ අනෙකුත් පිරිසට ඡන්දය පාවිච්චි කළා. නිදහස් නිවහල් ජීවිතයක් සුරක්‍ෂිත බවින් යුතුව ගත කරන්න ඡන්දය පාවිච්චි කළ ජනතාව දැන් ජාතික ජන බලවේගය සමග සාකච්ඡා කරමින් ඉන්නවා.
ජාතික සමගි පෙරමුණට ඡන්දය දුන් කණ්ඩායමත් ඔවුන්ට කිසිම වැඩපිළිවෙළක් නැති බව තේරුම් ගනිමින් සිටිනවා. තවදුරටත් මේ රට අගාධයට යාම වැළැක්වීමට, මේ රටට ආදරය කරන සියලුම දෙනා ජාතික ජන බලවේගය සමග එකතු වෙමින් ඉන්නවා. ඕනෑම වෙලාවක, ඕනෑම කැප කිරීමක් කරලා මේ ජනතාව සමග පෙරට යන්න සූදානම් බව අපි අවධාරණය කරනවා. ඒ වගේම තරුණ පරපුරට ආයාචනා කරන්නේ මේ රට දාලා යන්න එපා කියලයි. මේ රට ගොඩනගන්න ජාතික ජන බලවේගය එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මෙය ඔබේ කාර්යයක් බවට පත්කරගන්න කියන ආයාචනය කරනවා.
බිඳවැටුණු මව්බිම ගොඩනැගීමේ විසඳුම බවට පත්වෙන්න ජාතික ජන බලවේගය සූදානම්-ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක
RELATED ARTICLES