21.6 C
Sri Lanka
Sunday, May 11, 2025
HomeTOPසර්වජන ඡන්ද බලයට වසර 90 පිරෙන මෙම වසරේ ඡන්දදායකයාට, මැතිවරණ නොපැවැත්වීම පුරවැසියාට...

සර්වජන ඡන්ද බලයට වසර 90 පිරෙන මෙම වසරේ ඡන්දදායකයාට, මැතිවරණ නොපැවැත්වීම පුරවැසියාට තිබූ අයිතිය පැහැරගැනීමක් බව පැෆරල් කියයි.

කොවිඩ් 19 න් වැසී යන පළාත් පාලන මැතිවරණය

විෂය භාර අමාත්‍යවරයාට ඇති බලතල අනුව මේ වන විට පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. කල් දැමීමට හේතුව කොවිඩ් 19 වසංගතය බව අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කරනු දක්නට ලැබුණි.එහෙත් එය හුදෙක් කොවිඩ් වසංගතය හේතුවෙන් නොවන බව ඕනෑම පුරවැසියෙකුට තේරුම් යන සරල කරුණකි.

කොවිඩ් රැල්ලේ ආරම්භක අදියරේදී රට පුරා පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව පවත්වන්නට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය. එමෙන්ම ඒ මොහොතේ විපක්ෂය වූ වර්තමාන ආණ්ඩු පක්ෂය මැතිවරණ පැවැත්වීමට නිරන්තර අරගලයක යෙදුනි. ඒ මොහොතේ පැෆ්රල් සංවිධානයද ඒ වෙනුවෙන් එම පිරිස සමග පෙනී සිටියෙමු. මේ මොහොතේ මැතිවරණයක් පවත්වනවාද යන ප්‍රශ්නයේදී මහජන අවධානය යොමුවන ප්‍රධාන කරුණු කිහිපයක් දැකිය හැකිය.

1.මැතිවරණය පැවැත්වීම හරහා කොවිඩ් අවධානම වැඩිවිය හැකිද?
2.මැතිවරණයකට වැයවිය හැකි (මැතිවරණ කොමිසමට වැයවන) මිලියන 6,000 – 10,000 පමණ වන මුදල මේ මොහොතේ රටට දරා ගත හැකිද?
3.ඉදිරි මැතිවරණයට පෙර නව ක්‍රමය සමග දෙගුණයක් වූ සභික ප්‍රමාණය අඩුකිරීමට කටයුතු කරනු ලබන්නේද?
4.විශාල මුදලක් වැයකර පත්කරගන්නා මහජන නියෝජිතයින් පිළිබද ජනතාවට විශ්වාසයක් තිබේද, ඔවුන් පත්කිරීම හරහා ජනතාවගේ ජීවන මට්ටමෙහි වෙනසක් ඇතිවිය හැකිද?

ඉහත කරුණු දැනුවත් පුරවැසියෙකුගේ අවධානය යොමුවන කරුණු වුවද මේ මොහොතේ මැතිවරණය කල්දමනු ලබන්නේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පෙනී යන කරුණකි. මේ පිළිබදව උදාහරණ ඕනෑ තරම් යහපාලන රජය සමයේත් ඊට පෙරත් දැකිය හැකිය. ලංකාවේ මැතිවරණ සිතියම ඒ මොහොතේ බලයේ සිටින පාලකයා තමාට අභිමත පරිදි හැසිරවීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට කෙරෙන මරු පහරකි. ඡන්දදායකයාට කරන නිගරුවකි. සර්වජන ඡන්ද බලයට වසර 90 පිරෙන මෙම වර්ෂයේ ඡන්දදායකයාට, පුරවැසියාට තිබූ අයිතිය පැහැරගැනීමකි. එමෙන්ම ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිබද ජනතා මතය උරගා බැලීමට සහ අවශ්‍ය වන්නේ නම් එම ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමට ආණ්ඩුවට ඇති නීත්‍යානුකූල අවස්ථාව මගහැර ගැනීමකි.

පසුගිය දශක හතරක කාලසීමාව දෙස ආපසු හැරී බැලීමේදී පාලන බලය හෙබවූවන්, මැතිවරණ සිතියම හකුලමින් ජනතා පරමාධිපත්‍ය බලය උරගා බලන්නට අවස්ථාව නොදීම තුළ ඇති වූ කලකිරීම් සහ පීඩනයන් කෙලවර වූයේ අවාසනාවන්ත සිදුවීම් සමුදායකිනි. එහි අනිටු පලවිපාක වර්තමානයේද අප අත්විඳිමින් සිටිමු. මෙම අවාසනාවන්ත තත්ත්වයට පාලන බලය හෙබවූ සියලු පාර්ශවයන් අඩුවැඩි වශයෙන් වගකිය යුතු බව අප විශ්වාස කරමු.
කුමන තත්ත්වයක් යටතේ වුවද පුරවැසියන්ට වරින් වර තම පාලකයන් තෝරා ගැනීමට හා තම මතය ප්‍රකාශ කිරීමට ඇති අනුලංඝනීය අයිතිය සුරක්ෂිත කල යුතු බව විශ්වාස කරන අප එකී අවස්ථාව අහිමි කරනු ලැබුව හොත් එය වෙනත් ආකාරයකින් මතුවීමේ අවධානමක් ඇති බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments