කුමනතත්වයක් යටතේ වුවත් මෙම වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 105ට අඩුවෙනුත් ,සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
වෙළෙඳ අමාත්‍යංශයේදී ඊයේ (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව පැවසීය.
මෙම මිළගණන් යටතේ සතොස හා සමූපකාර,Q-SHOP ඇතුළු රාජ්‍ය අලෙවි ජාලය මගින් පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකි බවද ඇමතිවරයා සඳහන් කළේය.
මේ සඳහා පසුගිය 10වනදා පැවති කැබිනට් මණ්ඬල හමුවේදී නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂදෙකක් හා සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය ලබාදුන්බවද ඇමතිවරයා පැවසීය.
කැකුළු සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් හෝ වැඩි ප්‍රමාණයක් බුරුමයෙන් ආනයනය කිරීමට බුරුමරජය සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවත් එම සහල් තොග ලබන මාසය වන විට මෙරටට ලැබෙනු ඇතයිද හෙතෙම සඳහන් කළේය.
මෙයට අමතරව පුද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට මුදල් ඇමතිවරයා හා මහබැංකුව සමග සාකච්ඡා කර ඉඩප්‍රස්ථාව සලකා ඇතිබවත්, පෞද්ගලික අංශය ආනයනය කරන සහල් දේශිය සහල් සමග කවලම් කිරීම, දේශීය වෙළෙඳපොළට නිකුත් නොකිරීම පිළීබඳ පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබි ඇති බවත් එම කටයුතු වැළැක්වීමට පියවර ගන්නා බවත්පැවසීය.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවෙන් නාඩු සහ සුපිරි සම්බා සහල් සහ බුරුමයෙන් කැකුළු සහල් ආනයනය කිරීමට සියලු අවබෝධතා ගිවිසුම් අත්සන් කර ණයවර ලිපි නිකුත්කරන බවත්සඳහන් කළේය.
කෘතීම ලෙස අසාධාරණ ලෙස සහල් මිළ වැඩිකිරිමේ සැළැස්ම මොනම හේතුවක් නිසාවත් ක්‍රියාත්මක කිරීමට ඉඩනොදෙන බවත්, නාඩු සහල් කිලෝවක්රුපියල් 105ටවඩා වැඩි නොවීමට ඉඩනොතබන බවත් ,කුමනතත්වයක්යටතේ වුවද මේ වසරපුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ට අඩුවෙන් තබා ගැනීමට පුළුවන් තරම් උත්සාහ කරන බවද සඳහන්කළේය.
කොවිඩ් වසංගත තත්වය තුළ ජනතාව මුහුණදී තිබෙන පීඩනය හමුවේ සහල්, සීනි, පිටි,පරිප්පු,අල, ළූණුඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ ස්ථාවර කර පාරිභෝගික ජනතාවට ලබාදී මේ සහනදායී වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇතැයිද ඇමතිවරයා පැවසීය.
මේ අතර මුදල් ඇමතිවරයාගේ සහන පැකේජය යටතේ වතුකරයේ ජනතාවට පිටි කිලෝවක් රුපියල් 85 කට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම සදහන් කළේය.
සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 ට වැඩිවන බවට සහල් වෙළෙඳපොළ මාෆියා ව විසින් මතවාදයක් ඇති කර ඒ මතවාදය ස්ථාපිත කර පාරිභෝගික ජනතාව ඉතා විශාල ලෙස පීඩාවට පත්කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකවන බවට පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් එම තත්වය සැළකිල්ලට ගෙන ජනාධිපති ප්‍රමුඛ කැබිනට්මණ්ඬලය විසින් වෙළෙඳපොළේ සහල්මිළ ස්ථාවරව පවත්වා ගෙනයා ම සඳහා ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට වෙළෙඳඅමාත්‍යවරයාට විශේෂ අවසරයක් ලබාදුන් බවද සඳහන් කළේය.