ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුයුක්ත ග්‍රේ ලයින් 2 බහාලුම් පරීක්ෂණ අංගනයේ රේගු නිලධාරීන් විසින් අද දින පකිස්ථානයේ සිට මෙරටට ආනයනය කල සැක සහිත ශීතකරණය කරන ලද බහාලුම් දෙකක් පරීක්ෂා කරනු ලැබුවා. වත්තල ප්‍රදේශයේ පිහිටි සමාගමක් විසින් ඉන්දියාවේ පිහිටා ඇති සමාගමකින් ඇණවුම් කර මෙම බහාලුම් දෙක මෙරටට ආනයනය කර තිබුණ අතර එහි අර්තාපල් කිලෝග්‍රෑම් 53,000 අඩංගු බව රේගුවට ප්‍රකාශ කර තිබුණා.
නමුත් එම බහාලුම පරීක්ෂා කිරීමේ දී එහි තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙරටට ආනයනය සීමා කර ඇති රුපියල් මිලියන තුනකට වඩා අධික වටිනාකමකින් යුත් බීට්රූට් කිලෝග්‍රෑම් 16,000 ක් සොයා ගනු ලැබුවා. මෙම බීට්රූට් තොගය අර්තාපල් අඩංගු බෑග වලට සමාන බෑග වල අසුරා එම බහාලුම්වල ගැඹුරු අන්තයේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණා.
මේ වන විට මෙම භාණ්ඩ නිෂ්කාශනය සඳහා පැමිණි වාප්පු ලිපිකරු රේගුව විසින් රඳවා ගෙන ප්‍රශ්න කරගෙන යනු ලබනවා. මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුයුක්ත ග්‍රේ ලයින් 2 බහාලුම් පරීක්ෂණ අංගනයේ රේගු නිලධාරීන් විසින් සිදු කරන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා එම භාණ්ඩ රාජසන්තක කොට ආනයන කරුට වැඩිදුර දඩ පැනවීමට නියමිතයි.