රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා ලංකා සතොස ජල බෝතල් තොග සැපයීමේ දී සුවිශේෂී වට්ටමක් ලබා දීමට කටයුතු යොදා තිබෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ (13) පැවති මාධ්‍ය හමුවක දීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය…………. .
ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා රු.35/=කට අළෙවි කිරීමටත්, භාවිතා කරනු ලැබු ලංකා සතොස ජල බෝතල් නැවත ලබා දීමේ දී රු.10/=ක් නැවත ගෙවීමටත් කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව, පානීය ජල බෝතල් වැඩි වශයෙන් භාවිතා කෙරෙන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා මෙම ලංකා සතොස ජල බෝතල් තොග ලබා ගැනීමේ දී 17.2%ක වට්ටමක් සහිතව රු.29/=ක සුවිශේෂී මිලකට ලබා දීමටත්, එම බෝතල් නැවත ලබා දීමේ දී බෝතලයක් සඳහා රු.10/=ක මිලක් ලබා දීමටත් කටයුතු සලසා තිබෙනවා.
ඒ අනුව, ලංකා සතොස මිලිලීටර් 500 පානීය ජල බෝතල් භාවිතයෙන් පසු නැවත ලබා දීම තුළ, එක් බෝතලයක් සඳහා මෙම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වැය කළ යුත්තේ රු.19/=ක් පමණක්වේ.
තිරසර සංවර්ධනයක සුවිශේෂී ලක්ෂණයක් වන, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට වන හානිය අවම කිරීමේ අරමුණ සාක්ෂාත් කිරීමට මෙමඟින් හැකියාව ලැබෙනවා.
ලක්ෂ සංඛ්‍යාත ප්ලාස්ටික් ජල බෝතල් භාවිතයෙන් පසු මුදා හැරීම තුළ පරිසරයට වන හානිය අවම කිරීම සඳහා මෙවැනි ක්‍රමවේද භාවිතා කිරීමට සෑම ව්‍යවසායකයෙකුම කටයුතු කළ යුතුයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම තුළින් අපේක්ෂිත ඉලක්ක කිහිපයක්ම සාක්ෂාත් කරගැනීමට දායකත්වය වෙළෙඳ අමාත්‍යාංශය හරහා මේ අයුරින් සැපයෙනු ලැබෙනවා. ඒ අනුව, පරිසරය සුරක්ෂිත කරලීමේ වැඩපිළිවෙලත්, පාරිභෝගිකයා වෙත ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළකට ලබා දීමත්, දේශීය ව්‍යවසායකයින් සඳහා දේශීය වෙළෙඳපොල තුළ ව්‍යාප්ත වූ අවකාශ සැලසීමත් මෙමඟින් සිදු කරයි.
එමෙන්ම, මෙහිදී ප්ලාස්ටික් භාවිතා කරන්නා එම ප්ලාස්ටික් බෝතලය පරිසරයට මුදා හැරීම වළක්වා ගැනීමේ අරමුණින් , භාවිතා කළ බෝතලය සඳහා මිලක් ලබා දීම ලොව පුරා රටවල් 40ක පමණ අති සාර්ථක අන්දමින් භාවිතා කරන අතර මෙම ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමවේදයන් සඳහා සෑම පුරවැසියෙකුගේම දායකත්වය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා මෙම ජල බෝතල් ලබා ගැනීම, මහජනතාවගේ බදු මුදල් සඳහා වැඩි වටිනාකමක් ලබා දෙන ආකාරයේ ජාතික ව්‍යාපෘතියක් වශයෙන් මෙය පෙන්වා දෙන්න පුළුවන්. ඒ අනුව සෑම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයක්ම, ලංකා සතොස පානීය ජල බෝතල් මිලට ගැනීමට කටයුතු කර, එම භාවිතයෙන් පසු බෝතල් නැවත ලබා දෙමින් වැය වූ මුදලින් කොටසක් නැවත ලබා ගන්නා අතරතුර පරිසරය සුරක්ෂිත කිරීමට දායකත්වය ලබා දීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් කළේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන පීඨයේ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාත්, ලංකා සතොස පරිසර හිතකාමී පානීය ජල බෝතල් ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දුන් දේශීය ව්‍යවසායකයෙකු වන වීසයිකල් ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂක මුත්තයියා ප්‍රභාකරන් මහතා ද සහභාගී වූහ.


