25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බලපත්‍ර රහිතව සංචාරකයන් සඳහා මත්පැන් විකිණීම සිදුකරන ආයතන සඳහා නව සුරාබදු බලපත්‍ර...

බලපත්‍ර රහිතව සංචාරකයන් සඳහා මත්පැන් විකිණීම සිදුකරන ආයතන සඳහා නව සුරාබදු බලපත්‍ර ක්‍රමයක් – සුරාබදු දෙපාර්තමේන්තුව.

බලපත්‍ර රහිතව සංචාරකයන් සඳහා මත්පැන් විකිණීම සිදුකරන ආයතන සඳහා
නව සුරාබදු බලපත්‍ර ක්‍රමයක් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණ කර තිබේ. එහිදි බලපත්‍ර රහිත ආයතන හේතුවෙන් බලපත්‍ර සහිතව සංචාරකයන්හට මත්පැන් විකිණීම සිදුකරන ආයතන අධෛර්යයට පත්කිරීමටත්, අසාධාරණ මිල ගණන් යටතේ සංචාරකයන්හට මත්පැන් විකිණීම සිදුකිරීමත් අවම කරගැනීමටත් මේ මගින් බලාපොරොත්තු වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය සහිත ඇල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සංචාරකයන් සඳහා ආහාර පාන සහ නවාතැන් සපයන ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස සියයක පමණ සංඛ්‍යාවක් එම ස්ථානවලට පැමිණෙන සංචාරකයන් සඳහා මෘදු මත්පැන් ලබාදීමට අවශ්‍ය සුරාබදු බලපත්‍ර ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් මුහුණ පාන ගැටළු විමසා බලා ඔවුන්හට එම බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා මෙන්ම එම බලපත්‍ර ලබාගැනීමට ඇති බාධාවන් ඉවත්වන පරිදි සුදුසු ක්‍රමවේදයක් සැකසීම පිණිස අවශ්‍ය අදහස් විමසා බැලීම සඳහා විශේෂ රැස්වීමක් (25) ඇල්ල ප්‍රදේශයේදී පැවැත්විය.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට සුරාබදු මූලස්ථානයේ හා බදුල්ල දිස්ත්‍රික්කය ජ්‍යෙෂ්ඨ සුරාබදු නිලධාරීන්, ඇල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙන්ම ඇල්ල ප්‍රදේශයේ ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස හිමියන් මෙන්ම එම හෝටල්කරුවන්ගේ සංවිධානවල නියෝජිතයින් ද සහභාගී වූහ.

දීර්ඝ කාලසීමාවක් පුරා කොවිඩ් වසංගත තත්ත් වය හේතුවෙන් විශාල පසුබෑමකට මුහුණ දුන් දේශීය සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අවශ්‍යතාව මෙන්ම වර්තමාන විදේශ විනිමය අර්බුදය විසඳාගැනීම සඳහා එම කර්මාන්තය තුළින් ලැබෙන පිටුබලය ද සැලකිල්ලට ගෙන දිවයිනේ සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශවල පිහිටා ඇති එම සංචාරකයන් සඳහා ආහාර පාන සහ නවාතැන් සපයන ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස සඳහා මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල නිර්දේශය ද ලැබී තිබේ.

මෙම නව යෝජිත ක්‍රමවේදය යටතේ දැනටමත් සංචාරකයන් සඳහා ආහාර පාන සහ නවාතැන් සැපයීම පිණිස ව්‍යාපාර ලියාපදිංචිය ලබාගෙන ඇති ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස වෙනුවෙන් වඩාත් සරල හා නම්‍යශීලී වූ අවශ්‍යතා සැපිරීමට යටත්ව සංචාරකයන් සඳහා මෘදු මත්පැන් එනම් බීර හා වයින් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලබාදීමට බලාපොරොත්තු වේ.

මෙම නව ක්‍රමවේදය මගින් දැනටමත් බලපත්‍ර රහිතව සංචාරකයන් සඳහා මත්පැන් විකිණීම සිදුකරන ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස නීතිමය රාමුවට ඇතුළත් කරගැනීම මගින් එම ස්ථාන හිමියන් මෙන්ම සංචාරකයන් ද මුහුණ දෙන අනපේක්ෂිත පීඩාවන් අවම කිරීමටත්, එම ස්ථාන නීත්‍යානුකූල මත්පැන් සැපයුම් දාමයට ඇතුළත් කරගැනීම මගින් නීත්‍යානුකුල හා ප්‍රමිතියෙන් යුතු මත්පැන් පමණක් ඒවායේ අලෙවි කරනු ලබන බවට සනාථ කරගැනීමටත් හැකියාව ලැබේ.

තවද බලපත්‍ර රහිත ආයතන හේතුවෙන් බලපත්‍ර සහිතව සංචාරකයන්හට මත්පැන් විකිණීම සිදුකරන ආයතන අධෛර්යයට පත්වීමත්, අසාධාරණ මිල ගණන් යටතේ සංචාරකයන්හට මත්පැන් විකිණීම සිදුකිරීමත් අවම කරගැනීමටත් මේ මගින් බලාපොරොත්තු වේ.

සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සහයෝගීතාවයත්, මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අනුමැතියත් ඇතිව මෙම මෘදු මත්පැන් එනම් බීර හා වයින් විකිණීම සඳහා නව සුරාබදු බලපත්‍ර ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments