22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනමාධ්‍ය මර්දනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදවමු!

ජනමාධ්‍ය මර්දනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදවමු!

(31) රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට විරෝධය පාමින් පැවති ජනතා උද්ඝෝෂණයෙන් පසු, එකී සිදුවීම දඩමීමා කර ගනිමින් එක් අතකින් ජනතා අරගල බියවද්දා මර්දනය කිරීමටද, අනෙක් අතින් මාධ්‍යවේදීන්ට පවා පහර එල්ල කරමින් මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන නිහඬ කරවීමටද, ඒවාට මර්දනය යෙදවීමටද ආණ්ඩුව උත්සාහ දරන බව පෙනේ.
එම ජනතා විරෝධය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පවා ආණ්ඩුව, ආරක්ෂක අංශ ලවා පහරදී ඇත. මේ වන විටත් මාධ්‍යවේදීන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති අතර එක් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවටද ගනු ලැබ සිටියි. අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් වන බවද දැනගන්නට තිබේ.
එබැවින් ජනතාව මුහුණ දෙන ඉතාම බරපතළ ගැටලුවලට විසඳුම් දෙනවා වෙනුවට ජනතාවගේ විරෝධයන් වාර්තා කිරීමට යන ජනමාධ්‍යවේදින්ට හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව ආණ්ඩුව ගනිමින් සිටින ප්‍රජාතන්ත්‍ර විරෝධී, මර්දනකාරී ක්‍රියාමාර්ග අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
මාධ්‍යවේදීන්ට පහරදීම හා අත්අඩංගුවට ගැනීමට අමතරව මෙම සිදුවීම් යොදාගනිමින් තමන්ට හීලෑ කර ගත නොහැකි මාධ්‍ය ආයතන නිහඬ කිරීම සඳහාත් ඒවා බියවැද්දීම සඳහාත් ඒවාට මර්දනය කැඳවීම සඳහාත් ආණ්ඩුව පියවර ගැනීමට සැරසෙන බවද පෙනෙන්නට තිබේ. මෙම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් හා තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතිය පැත්තෙන් ගත් විටද ඉතා බරපතළ තත්වයකි.
එබැවින් ජනතා විරෝධතාවන්ට ඒවායේ හේතු විමසා බලා විසඳුම් දෙනවා වෙනුවට ඒවා යොදා ගනිමින් තමන්ට අවනත නොවන මාධ්‍ය ආයතන නිහඬ කරවීමටත් මාධ්‍ය වේදීන්ට පහර දෙමින්, අත්අඩංගුවට ගනිමින් ඔවුන් මර්දනය කිරීමටත් ආණ්ඩුව දරමින් සිටින උත්සාහය වහාම පරාජය කළ යුතු බව අවධාරණය කරන අපි මෙම අරගලයන් අතරම, ජනමාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහාත් පෙළගැසෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.
එසේම අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් වහාම නිදහස් කරන ලෙසත් ජන මාධ්‍යයට අත නොතබන ලෙසත් අපි ආණ්ඩුවට බලකර සිටිමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments