22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්IMF වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 8 වැනිදා රාත්‍රී 8.00 දක්වා -...

IMF වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 8 වැනිදා රාත්‍රී 8.00 දක්වා – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා‍ව තීරණය කරයි.

පාර්ලිමේන්තුව අප්‍රේල් 5 සිට 8 දක්වා රැස්වෙයි

අධිභාර බද්ද පනත් කෙටුම්පතේ  දෙවන වර කියවීමේ විවාදය අප්‍රේල් 7 වැනිදා

ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන අප්‍රේල් 8 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අනුව ලබන 8 වැනිදා රජය විසින් ගෙනෙන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව දිවා විවේකයකින් තොරව විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

‍(01) පස්වරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී ඇත.

පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 5 වැනිදා සිට අප්‍රේල් 8 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර අප්‍රේල් 6 සහ 8 දිනයන්හි හැර අනෙක් දිනවල පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අප්‍රේල් 5 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.12.24 දිනැති අංක 2259/54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද  නියෝග, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2022.01.18 දිනැති අංක 2263/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.

තවද එදින දිනට නියමිත ප්‍රධාන වැඩකටයුතුවලින්  අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

අප්‍රේල් 6 වැනිදා පෙ.ව 10.00 – පෙ.ව 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර ඉන්පසු පෙ.ව 10.30 – පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා කාලය මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.09.17 දිනැති අංක 2245/31, 2021.10.29 දිනැති අංක 2251/63 සහ 2021.08.14 දිනැති අංක 2240/37 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල  පළ කළ නියෝග විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.

අප්‍රේල් 7 වැනිදා අධිභාර බද්ද පනත් කෙටුම්පතේ  (දෙවන වර කියවීම), වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022 ජනවාරි 06 දිනැති අංක 2261/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2022 ජනවාරි 11 දිනැති අංක 2262/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.

අප්‍රේල් 8 වැනිදා හැර සෑම දිනකම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා පිළිවෙලින් ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට  නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments