29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ගාලුමුවදොර හා අරලියගහ මැදුරඉදිරිපිට විරෝධතා කරුවන්ට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගන්න.

ගාලුමුවදොර හා අරලියගහ මැදුරඉදිරිපිට විරෝධතා කරුවන්ට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගන්න.

මහින්ද රාජපක්ෂ ඇතුළු මැර කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලෙස අපි බලකරනවා
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර

ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආණ්ඩුව ගෙදර යැවීම වෙනුවෙන් රට තුළ මාස ගණනාවක් පුරා අරගලයක් සිදුවෙමින් තිබෙනවා. ගෝල්ෆේස් අරගලය සන්ධිස්ථානයක් වී තිබෙනවා. අද වන විට මහින්ද රාජපක්ෂ නම් මිනීමරුවා මෙම අරගලයට පහරදී දින 08ක් ගතවී තිබෙනවා. මෙම කුමන්ත්‍රණය දියත් කළ රාජපක්ෂ ආණ්ඩුව 1500ක පමණ පිරිසකගේ නාම ලේඛනයක් සකස් කර ඇති බවටත් එයින් 300කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවටත් වාර්තා වෙනවා. මාධ්‍යවලත් සමාජ ජාලා තුළත් මහින්ද රාජපක්ෂ විසින් එවන ලද 2000කට වැඩි පිරිසකගේ පහරදීමේ වීඩියෝ සංසරණය වෙමින් තිබුණත් රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට තාමත් මෙම පිරිසගෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන්නේ තිදෙනෙක් පමණයි. ඊයේ (16) දිනය වන විට නීතිපතිවරයා විසින් මෙයින් 22ක පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දන්වා තිබෙනවා.

මහමොළකරුවන් අතහැර අරගලය ආරක්ෂා කළ මිනිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා
සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සමාජිකා නීතීඥ ශානිකා ද සිල්වා
ගොල්ෆේස් අරගලයට පහරදීමේ සිදුවීමට සතියක් පිරුණු ඊයේ (16) දිනයේ ඊට අදාළ වරදකරුවන් අත්අඩංගුවට නොගැනීමට හා ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු නොපැවරීමට එරෙහිව සමාජවාදී තරුණ සංගමය විසින් පොලිස් මූලස්ථානයට කරන ලද බලපෑමත් සමග ඒ පිළිබඳ සාකච්ඡාව තීව්‍ර වී තිබෙනවා. ඒ වගේම නීතිපතිවරයා විසින් ඊට අදාළ සැකකරුවන් 22කගේ ලයිස්තුවක් පොලීසිය වෙත ලබා දී ඇති බවද වාර්තා වුණා. මේ නිතිපතිවරයාගේ ලිපියත් සමග ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි කතාබහක් ඇති වී තිබෙනවා. අප මේ ලිපියේ ඇතුළත් කරුණු දන්නේ මාධ්‍යයෙන් වාර්තා වූ ප්‍රමාණයට පමණයි. ඒ මාධ්‍ය වාර්තාවලට අනුව ප්‍රහාරයේ මූලිකයින් අතරින් මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි යන පිරිස ලයිස්තුවට ඇතුළත් වී නැහැ. ඔවුන් නොමැතිව ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක, සංජීව එදිරිමාන්න යන කිහිපදෙනෙක් පමණක් ඊට ඇතුළත් වී තිබෙනවා. එහිදී පවා නීතිපතිවරයා දන්වා තිබෙන්නේ නඩු පැවරිය හැකි සාක්ෂි තිබේනම් පමණක් අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙසයි.
යම් අපරාධයක් සිදුවීමෙන් පසුව ඊට අදාළ විමර්ශනය කර අදාළ වරදකරුවන් අත්අඩංගුවට ගත යුතුය යන්න නීතිපතිවරයා විසින් කිව යුතු කරුණක් නෙමෙයි. එය පොලීසියේ වගකීමයි. විමර්ශන නිලධාරියා සෑහීමකට පත්විය හැකි පරිදි සාක්ෂි තිබේනම් නීතිපතිවරයාට යමෙක් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට දැනුම් දිය හැකියි. නැතහොත් මේ කරුණ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා දෙන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කළහොත් ඒ ඉල්ලීම මත විමර්ශනයක් කර අපරාධ පනතේ වගන්ති යටතේ නඩු පැවරිය හැකි යැයි දැනුම් දිය හැකියි. නමුත් මේ ලිපියේදී නීතිපතිවරයා සිදු කර ඇත්තේ මෙසේ කරන්නැයි උපදෙස්දී වංගුවක් දැමීම පමණයි. ප්‍රහාරයේ මහමොළකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන මහජනතාව තුළ ඇති වී තිබෙන විරෝධය දිය කර හැරීමට මොවුන් උත්සාහ කරනවාදැයි සැක උපදිනවා. මේ වෙලාවේ ජනතාව සමග වංගු ගහන්න නොයන්නැයි අපි නීතිපතිවරයාට කියනවා. මේ ප්‍රශ්නය තිබෙන්නේ එසේ කළ හැකි තැනක නෙමෙයි. පොලිස්පතිවරයා, නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා පියවර දෙස මහජනතාව බලා සිටිනවා. වරදකරුවන්ට එරෙහිව නිශ්චිතව නීතිය ක්‍රියාත්මක වීමක් මේ මොහොතේ ජනතාව අපේක්ෂා කරනවා. ප්‍රහාරය සිදු වන මොහොතේ ගොල්ෆේස් පිටියේ මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් සිටියා. මේ ප්‍රහාරයට අදාළ විඩියෝ ඕනෑ තරම් ඔවුන් ළඟ තිබෙනවා. මේ තොරතුරු ලබා ගෙන වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පොලිස්පතිවරයාට හැකියාව තිබෙනවා. නමුත් අපට පෙනෙන්නේ ඔවුන් වංගු ගසමින් මේ සිද්ධිය යටපත් කරමින් සිටින බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments