21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි අරඹයි.

මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි අරඹයි.

මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී බදාදා (08) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන එතුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවයි. මීට පෙර යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවනු ලැබූවේද එතුමන්ය.

මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, පාබල බලසේනාධිපති, පාබල සේනාංකාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපකරණ මාස්ටර් ජෙනරාල්, ආරක්‍ෂක සේනා ආඥාපති – යාපනය වැනි සුවිශේෂි තනතුරු රාශියක් හොඹවා ඇති පරිනත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු 1967 නොවැම්බර් මස 26 දින ගාල්ලේ උපත ලබා ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබිමෙන් අනතුරුව 1986 ඔක්තෝම්බර් මස 27 දින කැඩෙට් නිලධාරියෙකු වශයෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිත්‍ය පාඨමාලා අංක 26 යටතේ පුහුණුව ලබා දැක්වු දක්‍ෂතාවයන් මත පකිස්තානයේ යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතද ඇතුලත්ව මූලික විදේශ පුහුණුව ලැබීමෙන් අනතුරුව දෙවන ලුතිතත් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව 3 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ඇතුලත් කරන ලදී.

මෙතුමන් යුද සමයේ මෙන්ම ඉන් අනතුරුවත් අණදෙන්නෙකු, මාණ්ඩලික නිලධාරියෙකු හා උපදේශකයෙකු ලෙසත් තම හැකියාවන් මොනවට පිළිබිඔු කර ඇති මෙතුමන් ඉතාමත් සෘජු දැක්කමක් සහ මානා පෞරුෂයක් සහිතව රාජකාරි කරනු ලබන සුවිශේෂි නායකත්ව ගුණාංගයන්ගෙන් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මෙතුමන් තුල වූ අණදීම, නිවැරදි සහ අවස්ථානුකුල තීරණ ගැනීම පිළිබද වූ සුවිශේෂි කුසලතාවය හේතුවෙන් යුද්ධ හමුදාව තුළ විවිධ තරාතීරමේ අණදීමේ තනතුරු හොබවා ඇත. 3 වන, 6 වන සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව බලඇණියන්ට අයත් පාබල කාණ්ඩ සහ පාබල කාණ්ඩායම් වලට අණදුන් කාලසීමාව තුළ මෙතුමන්, ඔහු සතු විශිෂ්ඨ නායකත්ව ගුණාංග මනාවට පිළිබිඹු කර ඇත. පසුකාලීනව මෙතුමන් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණියෙහි අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි භාරගැනීමට වරම් හිමිකර ගෙන ඇත. සිය සේවා කාලය තුළින් ලද අත්දැකීම් සහ පරිනතභාවය හරහා මෙතුමන් පිළිවෙලින් 532 සහ 512 පාබල බලසේනාවන් සඳහා අණදීම සිදුකරන ලද අතර, යුද උපාය මාර්ග පිළිබද හසල දැනුමෙන් පරිනත වූ මෙතුමන් තුල වූ කුසලතාවයන් නිසාවෙන් පාබල පුහුණු පාසල සහ යුද හමුදා පුහුණු පාසල යන පුහුණු පාසල් දෙකෙහිම සේනාවිධායක වශයෙන් රාජකාරි සිදුකිරීමේ සුවිශේෂි භාග්‍ය මෙතුමන් වෙත හිමිවිය.

මාණ්ඩලික නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ඇතුලුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ වූ ස්ථානයන් හා විවිධ ස්ථර වල රාජකාරි ඉටුකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු පාබල සේනාංක ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 තනතුර හා රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කරමින් නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සුභසාධන කටයුතු ඉහල නැංවීමට කටයුතු කරන ලදී.

මෙතුමන් යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි උපදේශක නිලධාරියෙකු වශයෙන් හා ප්‍රධාන උපදේශක වශයෙන් රාජකාරි ඉටුකර ඇති අතර, පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුයුක්තව ශ්‍රී ලංකාව නියෝජනය කල පලමු යුද නිරික්‍ෂක නිලධාරි වශයෙන් කොන්ගෝ ජනරජයෙහි සාමසාධක රාජකාරින්වල නිරතවී ඇත. තවද, මෙතුමන් ඉරානයෙහි පැවැති යුද නිරික්‍ෂක සහ සාමසාධක පුහුණු පාඨමාලාව ද සාර්ථකව හදාරා නිමකර ඇත.

මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු කොළඹ විශ්වවිද්‍යාල වෙතින් මානව සම්පත් කළමාණාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ උසස් මානව සම්පත් කළමණාකරණ ඩිප්ලෝමාලව සාර්ථකව හදාරා ඇත. තවද, එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙහි (University of Bradford in UK) අර්බුද කළමණාකරණය සහ ආරක්‍ෂණය පිළිබද පශ්චාත් උපාධිය හදාර ඇත. මීට අමතරව ජාතික මනෝවිද්‍යා ආයතනය වෙතින් හදාරන ලද මනෝ විද්‍යා පිළිබද ඩිප්ලෝමාව සහ උපාධිය, මනෝවිද්‍යා උපදේශනය සහ මාර්ගෝපදේශනය පිළිබද උසස් සහතික පත්‍ර පාඨමාලාව හැදෑරිමෙන් අනතුරුව මෙතුමන් විසින් එකී විෂය පථය කෙරෙහි දක්වන ලද ප්‍රායෝගික කුසලතා හේතුවෙන් මෙතුමන් හට ශ්‍රි ලංකා වෘත්තීය මනෝවිද්‍යා උපදේශක සංගමයේ සාමාජිකත්වයද පිරිනමා ඇත. මෙතුමන් එක්සත් ජනපදයේ හවායි නුවර පැවැති අග්නිදිග ආසියාතික ආරක්‍ෂක අධ්‍යාපන ආයතනය සංවිධානය කරන ලද අර්බුද කළමණාකරණය පිළිබඳ වැඩමුලුව සඳහා ද සහභාගීවී ඇති අතර, ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය, ඉරානය, මොන්ගෝලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ආදි විදේශ රාජ්‍යයන් වෙතින් පවත්වන ලද උපාධි පාඨමාලා සහ වැඩමුළු රාශියක් සඳහා සහභාගීවී සිය වෘත්තිය දැනුම වර්ධනය කරගෙන ඇත.

මෙතුමන් ඉන්දුනීසියාවෙහි පැවැති උපක්‍රමික සහ ප්‍රතිත්‍රස්ත උපාධිය සහ මොන්ගෝලියාවේ පැවැති දකුණු ආසියාතික සහ ඊසාන දිග ආසියාතික රාජ්‍යයන්හි ආරක්‍ෂාව පිළිබද වැඩමුළුව සාර්ථකව හදාරා ඉන් අනතුරුව ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පැවැති ලොව පොකුරු බෝම්බ භාවිතය පිටුදැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්‍රියාත්මක කරවීමේ සම්මන්ත්‍රණය සඳහා ද ශ්‍රි ලාංකික නියෝජිත ලෙසද සහභාගීවීමේ භාග්‍ය උදාකරගන්නා ලදී.

මොහු වර්ෂ 1987 සිට අවසන් මානූෂීය මෙහෙයුම දක්වා සියලුම ප්‍රධාන ක්‍රියාන්විත සඳහා තම අද්විතීය දායකත්වය ලබාදුන් නිලධාරියෙකි. තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රියාන්විතයන් හීදි තම නීර්භීතභාවය, අභීත රණකාමීත්වය සහ වීරෝධාරත්වය ප්‍රදර්ශණය කරමින් පෙන්වන ලද අතිවිශිෂ්ඨ නායකත්වය වෙනුවෙන් හා විශේෂයෙන්ම යාපනය අර්ධද්වීපය අත්පත්කර ගැනීමේ ක්‍රියාන්විතයේදී තොන්ඩමන්ආරු ප්‍රදේශයේදී දරුණු ලෙස තුවාල ලැබු මෙතුමන් ක්‍රියාන්විතයන් වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් රණවික්‍රම පදක්කමෙන්, රණශූර පදක්කමෙන්, දේශපුත්‍ර පදක්කමෙන්, නැගෙනහිර මානූෂීය පදක්කමෙන්, වන්නි මානූෂීය පද්කකමෙන්, පූර්ණ භූමී පදක්කමෙන්, උතුරු සහ නැගෙනහිර මානූෂීය මෙහෙයුම් පදක්කමෙන්, රිවිරැස මෙහෙයුම් පදක්කමෙන්, 50 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කමෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 50 වන සැමරුම් පදක්කමෙන්, සන්නද්ධ සේවා හා දීර්ඝ සේවා පදක්කමෙන්, එක්සත් ජාතීන්ගේ නිරීක්‍ෂක පදක්කම කොන්ගෝ විදේශ සේවා පදක්කමෙන්, සේවාභිමානි පදක්කමෙන් සහ පැසසුම් සේවා පදක්කමෙන් පිදුම් ලබා ඇත.

තවද, මෙතුමන් වියැකි යන ජාතික උරුමයක් වන අංගම්පොර සටන් කලාවේ ශ්‍රී ලංකා ජාතික අංගම්පොර සම්මේලනයේ සභාපති ධූරය හොබවමින් අනාගත මතු පරපුර වෙනුවෙන් ඉපැරණි ලාංකීය සටන් කලාව රැකගෙන ඉදිරියට පවත්වාගෙන යෑමේ නියමුවෙකු ලෙස කටයුතු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments