ලක්ෂ විසි හයකට ආසන්න වටිනාකමකින් යුතු කේරළ ගංජා ළඟ තබාගෙන ප්‍රවාහනය කිරිමට සුදානම් කරමින් සිටි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.සී.කේ. මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) මන්නාරම පොලිස් වසමේ ශාන්තිපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ලක්ෂ විසි හයකට ආසන්න වටිනාකමකින් යුතු කේරළ ගංජා කි.ග්‍රෑ. 24 ක් ප්‍රවාහනය කිරීම සදහා සූදානම් කරමින් සිටි ශාන්තිපුරම්, මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලිම්වලදී(18) මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් මිලිග්‍රෑම් 9.30ක් ළඟ තබාගෙන සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරී පිරිසක් රක්ෂිතයක් තුලට ඇතුළුවි බලපත්‍ර නැතිව වැලි කැණිම් කර ට්‍රැක්ටර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ලීටර් විසිපහක් හා මත්පැන් පෙරිමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් නීතිවිරෝධි මත්පැන් ලීටර් 29.25 හා මත්පැන් පෙරිමේ උපකරණ ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.