

මෙම තරුණ තරුණියන් සියලු දෙනාම මේ වනවිටත් රැකියාගතව සිටීමෙන් ජාතික යොවුන් සේනාංකයේ වෘත්තීය පුහුණුවීම්වල ඇති ඉහළ ප්‍රමිතිය සහ ප්‍රායෝගික බව මනාව පැහැදිලි වන බව තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති දිනිඳු සමන් හෙන්නායක මහතා ප්‍රකාශ කරයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික යොවුන් සේනාංකයට අයත් කතරගම හෝටල් පුහුණු පාසලේ ගෘහපාලන (Hotel Housekeeping – NVQ Level 3) පාඨමාලාව සාර්ථකව නිමකළ පුහුණුලාභීන් 41 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම ජාතික යොවුන් සේනාංක පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙම පාඨමාලාව හැදෑරූ තරුණ තරුණියන් 41 දෙනාම මේ වනවිටත් මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවී සිටීම මෙහි ඇති විශේෂත්වය වන අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අදහස් දැක්වූ දිනිඳු සමන් හෙන්නායක මහතා පෙන්වා දුන්නේ, තරුණ පරපුර හුදෙක් සහතිකයකට පමණක් සීමා නොකර, සෘජුවම ආර්ථිකයට දායක විය හැකි වෘත්තිකයින් ලෙස සමාජගත කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවයි.
“මෙරට සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින අවධියක, ඊට සරිලන ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිකයින් බිහිකිරීමේ විශාල වගකීමක් අපට තිබෙනවා. අද දින සහතිකපත් ලබාගන්නා මෙම තරුණ තරුණියන් සියලු දෙනාම මේ වනවිටත් රැකියාගතව සිටීමෙන් ජාතික යොවුන් සේනාංකයේ වෘත්තීය පුහුණුවීම්වල ඇති ඉහළ ප්‍රමිතිය සහ ප්‍රායෝගික බව මනාව පැහැදිලි වෙනවා. රැකියා වියුක්තියට කදිම පිළිතුරක් ලෙස මෙවැනි වෘත්තීය පුහුණු වැඩසටහන් අප තවදුරටත් දීපව්‍යාප්තව පුළුල් කරනවා,” යැයි නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
හෝටල් ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන වයස අවුරුදු 18ත් 28ත් අතර තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින්, නොමිලේ නවාතැන් සහ ආහාර පහසුකම් සහිතව මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර 2014 වසරේ දී දඹුල්ලෙන් ඇරඹි මෙම සාර්ථක හෝටල් පුහුණු පාසල් ව්‍යාපෘතියේ මීළඟ අදියර ලෙස, දඹුල්ල ‘දිගම්පතහ’ නව හෝටල් පුහුණු පාසල ද මේ වසරේ නුදුරේදීම විවෘත කර තරුණ අයිතියට පත්කිරීමට නියමිත බව ජාතික යොවුන් සේනාංකය පවසයි.
මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල, සභාපති නලින් රදම්පල, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහත්වරුන්, කතරගම බස්නායක නිලමේ, යොවුන් සේනාංකයේ අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය, අතිරේක අධ්‍යක්ෂ (පාලන හා මූල්‍ය) නිශාන්ත පුෂ්පකුමාර මහත්වරු ද, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන මහත්මිය ද, කතරගම පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපතිතුමන් ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.




