29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්වාර්තා පොත අලුත් කළ යුපුන් අබේකෝන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ...

වාර්තා පොත අලුත් කළ යුපුන් අබේකෝන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ පදක්කම දිනයි.

ශ්‍රී ලංකා ධාවන ශූර යුපුන් අබේකෝන්, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර 100 ධාවන ඉසව්වේ පදක්කමක් දිනා ගත් පළමු ආසියානු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය.

ඒ, එංගලන්තයේ බර්මින්හම්හිදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනි.

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වේගවත්ම මිනිසා තීරණය වූ මීටර 100 ය ධාවන ඉසව්වේ අවසන් මහා තරගය මෙරට වේලාවෙන් අද (04) අලුයම 2.00 ට පැවැත්විය.

ආසියාවෙන් ඊට සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ය.

ඊයේ(03) රාත්‍රියේ පැවැති තුන්වැනි අවසන් පූර්ව තරගයේදී තත්පර 10යි දශම 2ක කාලයක් සටහන් කරමින් යුපුන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

මෙම අවසන් තරගයට එක් වූ ප්‍රබල ක්‍රීඩකයින් අතරට පසුගිවර රන් පදක්කම දිනූ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනි සහ සුපිරි කෙන්යා ක්‍රීඩක ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා ද ඇතුළත් ය.

තත්පර 10යි දශම 0යි 2ක කාලයක් සටහන් කළ කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා එම තරගය ජය ගත්තේ ය.

දෙවැනි ස්ථානය හිමි වූයේ, තත්පර 10යි දශම 1යි 3ක කාලයක් සටහන් කළ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනිටයි.

තත්පර 10යි දශම 1යි 4කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.

ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා අංශයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් දිනූ සිව්වැනි අවස්ථාව මෙයයි.

1998 වසරෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා අංශයෙන් පදක්කමක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද යුපුන් වාර්තා අතරට එක් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments