25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අයිතිවාසිකම් ඉල්ලන ජනතාවට බැටන් ප්‍රහාර එල්ල කරන දුෂ්ට පාලනය පලවා හැරිය යුතුයි-...

අයිතිවාසිකම් ඉල්ලන ජනතාවට බැටන් ප්‍රහාර එල්ල කරන දුෂ්ට පාලනය පලවා හැරිය යුතුයි- ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සිටි රාජපක්‍ෂවාදීන් විසින් පත්කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම ජනතා මර්දනයක් දියත් කරමින් සිටිනවා. ඇත්තටම මේක සීතල දඩයමක්. රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපති වෙනකොට රටේ තිබුණු බරපතළ ආර්ථික, දේශපාලන ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙනවා වෙනුවට ප්‍රශ්නවලට විසඳුම් සොයන ජනතාව බියවැද්දීමට කටයුතු කරමින් සිටිනවා; රාජපක්‍ෂවරුන් ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඔහු ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක් ලෙස පෙනී සිටින්න උත්සාහ කළත් සාමකාමී උද්ඝෝෂණ පාගමන්වලට පවා මර්දනය දියත් කරමින් සිටිනවා. 18වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කිසියම් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පැවැත්වූ සාමකාමී පා ගමනට විශාල පොලිස් පිරිසක් යොදවලා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන සාමකාමී අරගල කිරීමේ අයිතියට යුද්ධයකට යන පොලිස් බලඇණියක් වගේ විශාල පිරිසක් යොදවා පහර දුන්නා. රනිල් වික්‍රමසිංහ දැන් ඉන්නේ ජනතාව පාරට බහිනකොටම ගහන්න බලාගෙනයි.

මේ ම්ලේච්ඡ තිරිසන් පහරදීීම ජනතා විමුක්ති පෙරමුණ ලෙස හෙළා දකිනවා. ඒ වගේම මෙවැනි මර්දනකාරීත්වයන් වහාම නතර කරන ලෙස අපි දැඩිව ආණ්ඩුවට අවධාරණය කරනවා. එසේ නොකළොත් මීට වඩා දැවැන්ත මහජන විරෝධතාවයන් පැන නැගී ගෝඨාභය රාජපක්‍ෂ ගිය පාරේම රනිල් වික්‍රමසිංහටත් යන්න සිදුවෙන බවට අනතුරු අඟවනවා. පහර දීමෙන් පසුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන සිටිනවා. ඒ වගේම ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරීන් පිළිබඳ සියලු විස්තර ලබාගෙන ඒ අරගලය නතර කළ අවස්ථාවේ සිට දිගටම මර්දනය ගෙන යනවා. මේ මර්දනකාරිත්වය වහාම නතර කර අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු සියලු දෙනාම වහාම නිදහස් කරන්න කියලා අපි බල කරනවා. ශිෂ්‍යයෝ, ධීවරයෝ අරගලයේ හිටපු අයට අමතරව මාධ්‍යවේදීන් සහ මාධ්‍ය හිමිකරුවන්ටත් සීතල මර්දනය දියත් කර තිබෙනවා. අරගලය තිබුණු කාලයේ රනිල් වික්‍රමසිංහ යටතේ දිගින් දිගටම මාධ්‍යවේදීීන්ට පහරදීීම් කළා. මාධ්‍ය උපකරණවලට හානි සිදුකළා. රටේ සිදුවන දේවල් වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය. ඒ අය පොලිසිය යොදවලා පහරදීම දිගටම අරගෙන එනවා. ඔවුන්ගේ මර්දනය හොඳින්ම කරගත නොහැකි වී තිබෙන්නේ මාධ්‍යවල වාර්තා වෙන නිසා. මේ නිසා මාධ්‍යවේදීීන්ට තර්ජනය කිරීමට අමතරව සිරස මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාගෙන් පැය ගාණක් ප්‍රශ්න කර තිබුණා. රනිල් වික්‍රමසිංහගේ ගේ ගිනි තැබීම පදනම් කරගෙන මේ වැනි ප්‍රශ්න කිරීම් සිදුකරනවා.

කවුරුන් හෝ සත්‍යය වාර්තා කරන්න යනවා නම් මාධ්‍යවේදීන් පමණක් නොව මාධ්‍ය ආයතන පවා බය වද්දන බවයි මෙයින් කියවෙන්නේ. රාජපක්‍ෂ යුගයේ පවා මෙවැනි සිදුවීම් දියත් කර තිබුණා. දැන් රනිල් රාජපක්‍ෂ පාලනය පොදු ජනතාව බය වද්දමින් ජන වරමක් නැති අනීතික දුෂ්ට පාලනය කෙසේ හෝ පවත්වාගෙන යාමට කටයුතු කරනවා. රාජපක්‍ෂවාදීන්ගෙන් ඡන්දයෙන් බලය ගත් රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂලා සන්තෝස කරන්න උද්ඝෝෂණවලට පහර දීම සරල කාරණයන් නෙවෙයි. වහාම පරාජයට පත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව ගැන කතා කරමින් ඉන්නවා. එහෙම කතා කරන්න එයාට අයිතියක් නැහැ. තමන්ගේ අදහස් පළ කරන්න සහ සාමාකාමී උද්ඝෝෂණයේ යෙදෙන්න දී තිබෙන අයිතිය මර්දනය කරමින් රනිල් වික්‍රමසිංහ කයිවාරු ගහනවා. රනිල් වික්‍රමසිංහට පිනට ලැබුණු ජනාධිපතිකමෙන් රාජපක්‍ෂලා සන්තෝස කරන්න ඔහුට ඕනෑ වී තිබෙනවා. රාජපපක්‍ෂලා නැවත බලයට ගේන්න ඔහුට බල කෙරෙමින් තිබෙනවා. මේ නිසා මර්දනය දියත් කරමින් ජනතාව බය කරන්න කටයුතු කරනවා. ජනතාව මේ මොහොතේ මුහුණපා තිබෙන ඉතාමත්ම අසීරු ආර්ථික ගැටලුවලට විසඳුම් දීමේ වැඩපිළිවෙළක්වත් රනිල් වික්‍රමසිංහ සකස් කර නැහැ. ඒ වැඩපිළිවෙළක් සකස් කරනවා වෙනුවට ඔහු බලය තහවුරු කර ගන්න ක්‍රියා කරමින් ඉන්නවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments