25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අපි කාගෙත් බත්පතට වැලි අහුරක් දාන්න කැමති නැති දේශපාලන පක්ෂයක්.

අපි කාගෙත් බත්පතට වැලි අහුරක් දාන්න කැමති නැති දේශපාලන පක්ෂයක්.

මෙරට දේශපාලනය කිරීමට තිබෙන අයිතිය අන් සැමට තිබිය යුතු බවත්, කරනු ලබන දේශපාලනයට  අකුල්හෙළීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  රංජිත් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අ(26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  රංජිත් බණ්ඩාර මහතා,

“අපි ගත කරමින් සිටින්නේ  ඉතිහාසයේ අතිශයින් තිරණාත්මක  කාලවකවානුවක. 69 ලක්ෂයක  ජනවරමක් ලබා ගත්ත ගෝඨාභය රාජපක්ෂ  හිටපු ජනාධිපතිතුමාගේ ධූරය හිස්වන අවස්ථාවේ  රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙරට 08 වෙනි ජනාධිපතිවරයා විදිහට වැඩ භාර ගත්තා. ඉතිහාසයේ කවදාවත්  කියවලා නැති සිදුවීම්  සිදුවන අවස්ථාවක්. අවාසනාවකට අපි තවම අගරල කරන්නේ පුරවැසිභාවය තියෙන අය, නැති අය, සුදු අය, කළු අය විදිහට කෑලි  කොටස්  විදිහට බෙදා ගනිමින්. ඒ අනුව දේශපාලනය කරන්න පුරවැසිභාවය තිබිය යුතුමද  යන ප්‍රශ්නය ඉදිරියේදී අහන්න සිදුවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ප්‍රබලම  දේශපාලන පක්ෂය. ඒ නිසා මේ පක්ෂයේ නිර්මාතෘවරයාට අවකාශය තිබෙනවා තමන් විසින් විශ්වාස කරන දේශපාල ධාරාව ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා තමයි  මම කිව්වේ ඉතිහාසයේ කවදාවත් අත් නොවිදිපු තීරණාත්මක  කාලපරිච්ඡේදයකයි කටයුතු කරන්නේ කියලා.

අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය,  බහු පක්ෂ ක්‍රමය, ජනමාධ්‍ය නිදහස, විවෘතභාවය, නීති ආධිපත්‍ය මේ සියලු දෑ පිළිබඳ කටයුතු කරන දේශපාලන පක්ෂයක්. අපි කාගෙවත් බත්පතට  වැලි අහුරක් දාන්න කැමති නැති දේශපාලන පක්ෂයක්. අපි තදින් විශ්වාස කරනවා  මෙරටේ දේශපාලනය කිරීමට අපිට  තියෙන අයිතිය අන් හැමටම තිබිය යුතුයි කියලා.  ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ දේශපාලනයට  අකුල්හෙළීමට කිසිවෙකුටත් අයිතියක් නෑ කියලා. විපක්ෂය වගකීම් විරහිතව හුදු බලය ලබා ගැනීමේ අරමුණින්  දේශපාලන යාන්ත්‍රණය මෙහෙයවීමට  වෙහෙසෙනවා. මේ අවස්ථාවේ කාටහරි බලය ලබා ගැනීමට උත්සුක වනවාට වඩා වැදගත් වන්නේ අපි අත්විදින ප්‍රශ්නවලට අපි කොහොමද පිළිතුරු සොයන්නේ  එකට එකතුවෙලා කියලා. වත්මන් ජනාධිපතිතුමා පුන පුනා  කියා සිටියා අපි එක්කහුවෙලා මේ ප්‍රශ්න විසඳමු කියලා. මේ ප්‍රජාතන්ත්‍රවාදි බහු පක්ෂ  ක්‍රමයට කෙනෙහෙළිකම් කරන්න එපා. අපිට කතා කරන්න, රැස්වීම් පවත්වන්න, පාක්ෂිකයෝ මුණගැහෙන්න තිබෙන අයිතිය උදුරගන්න එපා. අපි දැක්කා අරගලය වේලාවේ මේ රටේ විපක්ෂයේ බහුතරයක්  අරගලයත් එක්ක හිටියා. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා  ප්‍රශ්න විසඳීමට  විපක්ෂය සහය වෙන්න. ප්‍රශ්න  මේ රටේ මිනිස්සුන්ගේ ඔලුවට උඩිනුත් ගලලා හමාරයි. ඒ නිසා අපි දැන් පසමිතුරු දේශපාලන ක්‍රමය නවත්තමු.

අපි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුවට කැඳෙව්වා. ඉඩම් අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විෂය පථය පිළිබඳවත්, ආයතනික වෙනස්කම් පිළිබඳවත්  කෝප් කමිටුවට වාර්තා කරන්න කියලා. ඒ වගේම අමාත්‍යංශ ලේකම්ට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාගෙනුත් ඉල්ලා හිටියා ඉඩම් ලේඛනයක්  පිළියෙල කරලා ඒවායේ වටිනාකම ඇස්තමේන්තු කරලා  විගණකාධිපතිතුමාට  තමන්ගේ නිර්දේශ ලබාදෙන ආකාරයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සති 06 ක් ඇතුලත සිදු කරන්න කියලා. මෙවර කෝප් කමිටුවට කාල නිර්ණයාකයන් පමුණුවනවා. අපි ඉඩම් හදුනා ගැනීමටත්, ඒවායේ වටිනාකම් තක්සේරු කිරීමටත් බල සම්පන්න කමිටුවක් පත් කළා. පංච පුද්ගල කොමිසමක් පත් කළා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ආර්ථිකයට විශාල බරක් විදිහට තිබෙන රාජය ව්‍යවසායන්වල අවශ්‍ය ප්‍රතිසංස්කරණ  රජය විසින් මේ අවස්ථාවේ කරගෙන යන සහ ඒ සඳහා අවශ්‍යකරන  සහයෝගය   ලබා දෙනවා. ”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා,

“අපි දන්නවා මේ ලෝකයේ ශිෂ්ඨාචාරගත වුණේ ක්‍රම ක්‍රමයෙන්. තමන්ගේ ගෝත්‍රය නගා සිටුවීම සඳහා ගෝත්‍රවාදි මනසින් තමයි එක් කාලයක් මේ ලෝකයේ මිනිසුන් කටයුතු කළේ. ඉන්පසු එතනින්  ශිෂ්ටාචාරගත වෙලා දැන් අපි  විශ්ව ගම්මානය කියන සංකල්පය ගැන කතා කරනවා. මුළු ලෝකයම මෙවැනි  සංකල්පයකට යන කාලයක අපි කනගාටුවෙනවා අපේ රට විතරක්  නැවත ගෝත්‍රවාදය කෙරෙහි  රැගෙන යන්න සමහර පිරිස්  දරන උත්සහය සම්බන්ධයෙන්. අපි දැක්කා ඊයේ පෙරේදා  එංගලන්තයේ සුදු ජාතික රටේ  අග්‍රාමාත්‍යවරයා හැටියට රජයේ ප්‍රධානියෙක් හැටියට ඉන්දියානු සම්භවයක් සහිත හින්දු ජාතිකයෙකු පත් කරගනු ලැබුවා. ඒ අවස්ථාවේදී ඔවුන් බැලුවේ ජාතිිය, අදහන ආගම නොව ඒ පුද්ගලයාගේ  දක්ෂකම සහ ඒ පුද්ගලයගෙන්  ගන්න පුළුවන්  දේ පමණක් විතරයි . මේ තමයි දියුණු ලෝකයේ විශ්ව ගම්මානයක්  කරා යන ලෝකයේ ස්වභාවය. නමුත් ශ්‍රී ලංකාවේ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මේ රටේ පුරවැසියෙක් වෙන රටක පුරවැසිභාවයක් ලබා ගත්තොත් ඒ මනුස්සයාව එළවා දමලා  මේ රටේ සම්බනධයෙන් කිසිදු දේකට,  දියුණුවකට, තීන්දු තීරණ  ගැනීමට සම්බන්ධවීමට ඉඩකඩ අහුරලා  විනාශ කරලා එළවලා දැම්මා. අපි රටක් විදිහට ගෝත්‍රවාදය කෙරෙහි ගමන් කරමින් තියෙනවා ද කියන  ප්‍රශ්නයත් මෙවැනි සංශෝධන  ගෙනාපු පිරිසට මෙයට හොඳම පිළිතුර එංගලන්තය විසින්  පසුගිය සතියේ ලබාදුන්නා.

අපි පක්ෂයක් හැටියට මේ අවස්ථාවේදී ඕනෑම මැතිවරණයකට, ඡන්ද විමසීමකට සූදානම්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ ඡන්ද විමසීම් මැතිවරණ නිසි ආකාරයෙන්  පවත්වනු ඇති කියලා. පක්ෂයක් හැටියට අපි  ඒ සම්බන්ධයෙන් ස්ථාවර මතයක සිටිනවා.   නමුත් රටේ තත්වය හෝ  වෙනත් යම්  කාරණයක්  නිසා  නිවැරදි තීන්දූ තීරණ ගන්නවානම් අපි අකුල් හෙලන්නේ නෑ. නමුත් අපි පක්ෂයක් හැටියට  අපේ ස්ථාවරය තමයි  අපි ඕනෑම මොහොතක මේ රටේ  පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටිනවා. ඒ සඳහා අපි සියලුම සංවිධාන  කටයුතු මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. හෙට දිනයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ  ආණමඩුව ආසනයේ අපේ ඉදිරි ගමන  සම්බන්ධයෙන් විශලා පියවරක් තබනවා. පක්ෂයක් හැටියට ඉතා ශක්තිමත්ව ඝෘජුව සිටිනවා. අපිට ඉදිරියේදී  ලැබෙන ඕනෑම  මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන්. ඒ මැතිවරණවලින් ජයග්‍රහණය කරගන්නත් පුළුවන්. ” යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments