විදුලි බල ජලාශ කොම්පැනිකරණය කළොත් පානීය ජලයට හා ගොවිතැනට ජලය අහිමි වීමේ තර්ජනයක්.
විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නෑ. . ඔක්තෝබර් මාසයේ සැබෑ ඉන්ධන මිල ලාබය රුපියල් මිලියන 2840 හා සැබෑ ඉල්ලුම රටට හෙළිකර දීම අමාත්‍යංශයේ හා මහජන උපයෝගීතා කොමිසමේ වගකීමයි.
පසුගියදා කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට හා වෙනත් ආයතන 4කට කොම්පැනිකරණයකට ලක්වීමට යන බව හිටපු විදුලි බල ඇමැතිවරයෙකු මෙන්ම 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම ජල විදුලිය නිපදවන ජලාශ කොම්පැනිකරණය කළහොත් එය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම හා ගොවිතැනට ජලය අහිමි වීමේ තර්ජනයක් බව ද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම දැනට පවතින සැබෑ ඉන්ධන මිල හා සැබෑ ඉල්ලුම රටට හෙළිකර දීම අමාත්‍යංශයේ හා මහජන උපයෝගීතා කොමිසමේ වගකීම වන අතර, එසේ නොකර විදුලි බිල වැඩි කිරීම විසඳුමක් හෝ අවශ්‍යතාවයක් නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘විදුලි බල මණ්ඩලය කොම්පැණිකරණය කිරීම’ මැයෙන් 43 සේනාංකය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
“ඉතාම සරලව කිව්වොත්, ලංකාවේ විදුලිබල මණ්ඩලය සහ ඊට අනුබද්ධ ආයතන එකිනෙකට වෙනස් කොම්පැනි 18 කට හා ආයතන 4 ක්ට වෙන් කරන්නට අදාළ කමිටු වාර්තාවක් නිකුත් උනා. ඒ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා තිබෙනවා. කොම්පැනි 18 කට හා ආයතන 4 ක් හැටියට 22 කට ලංකා විදුලිබල මණ්ඩලය හා අනුබද්ධ ආයතන වෙන්කොට පවත්වා ගැනීම. මේක කියන්න පුළුවන් ලංවීම විසුරුවා හැරීමක් කියලා. මේ යෝජිත වැඩ පිළිවෙල 1969 බිහිකරපු මේ ආයතනය විසුරුවා හැරීමක්”
ජනන, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන අංග 3 ක් පවතී. 2002 දී කොටස් 6 කට වෙන්කොට පාලනය කළත් ලංවිමය නමැති තනි ඒකකයේ පැවැත්ම අහෝසි වූයේ නැත. යෝජිත නව කොම්පැනිකරණය යටතේ ජනන ක්ෂේත්‍රය ආයතන 6 කට වෙන් කෙරේ.
- “1950 සිට අවු. 70කට අධික කාලයක් මේ රටට විදුලිය ලබා දුන් විමලසුරේන්ද්‍ර මහතා විසින් ආරම්භ කළ ලක්ෂපාන, කැළණි ගඟේ තියෙන සියලුම බලාගාර සංකීර්ණයේ. මාඋස්සාකැලේ, කැන්යෝන්, ලක්ෂපාන, බ්‍රෝඩ්ලන්ඩ් දක්වා තියෙන කැළණි ගඟේ තිබෙන ජල විදුලි බලාගාර සංකීර්ණය.
- මහවැලිය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආරම්භ කරලා, ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් කඩිනම් කරපු කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, පොල්ගොල්ල ආදී වශයෙන් තිබෙන මහවැලි සංකීර්ණය.
- ජේ. ආර්. ජයවර්ධන යුගයේ ආරම්භ වුණ සමනල වැව ඇතුළු අනෙකුත් විදුලිබල මණ්ඩලයට අයිති කුඩා ජල විදුලි බලාගාර ඇතුළත්
- පුත්තලම ලක්විජය බලාගාරයේ මෙගාවොට් 810 කින් යුතු ඒ ගල් අඟුරු බලාගාරය සහිත සංකීර්ණය
- කැලණිතිස්ස හා සපුගස්කන්ද ප්‍රදේශවල පිහිටලා තියෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඩීසල් දැවිතෙල් බලාගාර, තාප බලාගාර සංකීර්ණ.
- බොහොම අමාරුවෙන් අපි ආරම්භ කළ මන්නාරම මෙගාවොට් 100 ක සුළං බලාගාරය
ඊළඟට සම්ප්‍රේෂණ, කොටස් 2 කට වෙන් කරලා තියෙනවා.
- බලශක්ති පාලන සහ විකිණීම්, (ශක්ති මෙහෙයුම් ඒකකය)
- දැනට තියෙන රැහැන්ගත ජාලය, රැහැන්ගත සම්ප්‍රේෂණ ජාලය. ඒක තව කම්පැනියක් හැටියට වෙන් කරලා තියෙනවා.
ඊළඟට බෙදාහැරීම්,
- කලාප 1
- කලාප 2,
- කලාප 3
- කලාප 4
නමින් හඳුනාගත්ත දැනටත් තිබෙන ඒ ඒකක 4 කොම්පැණි 4ක් වෙනවා
පස්වෙනි කොම්පැණිය ලෙකෝ එක දැනටමත් කම්පැනියක් හැටියට පවත්වාගෙන යනවා.”
රජය සතු සමාගම් හැටියට යන ඒවා ටික සියල්ලම මහා භාණ්ඩාගාරය යටතට තාවකාලිකව පත් කරන්න යෝජනා කරලා තියෙනවා විදුලිබල මණ්ඩලය. ඊට තව විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතන කිහිපයක් තිබෙනවා.
- බෙදාහැරීම් ආයතනය,
- ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ්. ඒකට වෙස්කෝස් බලාගාරයත් අයිතියි. ඒ වගේම සොබා දනවි බලාගාරයත් අයිතියි. අනික ලංකාවට ගල් අඟුරු ගෙන්වන ලංකා කෝල් මේ ආයතන තුනත් වෙන වෙනම කොම්පැනි බවට පත් කරලා, ඒවා මහ භාණ්ඩාගාරයට කරන්න යෝජනා කරලා තියෙනවා.
- විදුලිබල මණ්ඩලයට විසින් පවත්වාගෙන යන අනෙකුත් සේවා, උදාහරණයක් හැටියට කොළඹ මහ රෝහලේ වායුසමන යන්ත්‍ර ලංවිමය පාලනය කරනවා. ඒක ව්‍යාපාරයක් හැටියට කරනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී විදුලි ජනක යන්ත්‍ර, කුලියට දෙන එක එහෙම කරනවා. ඒ වගේ අමතර සේවා කරනවා විදුලිබල මණ්ඩලය රජයට හා පුද්ගලික අංශයට. එම සේවාවන් සහිත එක තවත් කොම්පැනියක් බවට පත් කරනවා. ඊළඟට ආයතන කිහිපයක් යෝජනා කරලා තියෙනවා.
- ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධකයට වෙනම ආයතනයක් පිහිටුවනවා.
- විදුලිබල මණ්ඩලය සතු ණය සියල්ල එකට එකතු කරලා, ඒ ණය භාර ගන්නා තවත් ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවනවා.
- දැනට විදුලිබල ක්ෂේත්‍රයේ කටයුතු කරන, විදුලිබල මණ්ඩලයත් එක්ක යම් යම් ගැටුම් ඇති කරගෙන තියෙන මහජන උපයෝගී කොමිසම සමග වෙනුවට වෙනත් නියාමන කොමිසමක් පත්කිරීමට යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම විදුලිබල ක්ෂේත්‍රයේ පැන නගින ගැටුම් විශේෂයෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආදියේදී පැන නැගෙන ගැටුම් වල විසඳීම සඳහා ස්ථිර විනිශ්චය මණ්ඩලයක් පිහිටුවීමටත් යෝජනා කරලා තියෙනවා.
ඒ වගේ විදුලිබල බලශක්ති ප්‍රතිසංස්කරණ පනත, නමින් නව පනතක් යෝජනා කරලා තියෙනවා. මේක ක්‍රියාත්මක කිරීම සඳහා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, වසර දෙකක කාලයක් ඇතුළත මේ පරිවර්තනය අවසන් කිරීම තමයි අරමුණ.
“මෙහි භයානකම අංගය තමයි. ජල විදුලිය කොම්පැනි කරණය කිරීම. මේකට නම් මේ රටේ ජනතාව කිසිම විදිහකට කිසිම රජයකට ඉඩ දිය යුතු නෑ. ලක්ෂපාන බලාගාරයට සම්පූර්ණයෙන්ම ඒ බලාගාර සංකීර්ණයට කැලණියේ ගඟේ අපි ගෙවලා ඉවරයි. මහවැලි බලාගාර වලට මේ රටේ ජනතාව ගෙවලා ඉවරයි. මේවා නැවත විකුණන්න පාලකයින්ට කිසිම අයිතියක් නෑ.”
“මේ ජල විදුලි බලාගාර හුදු විදුලි බලාගාර නෙමෙයි. පුත්තලම ගල් අඟුරු බලාගාරය වගේ. විදුලිය සපයනවා ඇරෙන්න වෙන කරන කිසිම මෙහෙවරක් නෑ. නමුත් කැළණි ගඟෙන් තමයි කොළඹ නගරයේ වතුර බොන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වතුර බොන්නේ. මහවැලි ගඟෙන් තමයි, මහවැලි කලාපයේ ගොවියෝ වතුර දැම්මේ. දැන් කොම්පැනි වලට විකුණුවාට පස්සේ කොළඹට වතුර දෙන්න බැහැ. අපි ඒකෙනුත් හදනවා කියලා ඒ කොම්පැණිය කිව්වොත්. මොකද කොළඹ නගරයේ ජල පානය කරන මිනිස්සුන්ට වෙන්නේ. මහවැලිය වික්ටෝරියාව අපි දිගටම දුවනවා. අපිට වැඩක් නැහැ. යල කන්නේ මහ කන්නයට වතුර දෙන එක කියලා කොම්පැනිය කල්පනා කළොත් මොකද වෙන්නෙ ගොවියන්ට. ඒ නිසා ප්‍රායෝගිකව මේ කවුරු උඩ ඉඳන්, හීතල කාමරවල ඉඳන් මේවා විකුණලා, අච්චර ඩොලර් එනවා, මෙච්චර ඩොලර් එනවා කියලා හීන මැව්වට, මේවා රටේ ජනතාවගේ ජාතික සම්පත් මේ වතුර. මේවායින් දස ලක්ෂයන් සංඛ්‍යාත පිරිසක් වතුර බොනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මිලියන 1.5 කට අධික පිරිසක්, ලක්ෂ පහළොවකට අධික පිරිසක් ජලය පානය කරනවා. එක කොම්පැනියක අතට දුන්නොත් එහෙම මොනවා වෙයිද? ලක්ෂ සංඛ්‍යාත හෙක්ටයාර් ප්‍රමාණයක් මහවැලියේ වගා කරනවා. ගොවි පවුල්. ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් ප්‍රමාණයක් යැපෙනවා. මහවැලියේ කොම්පැනියකට දුන්නොත් මොකද වෙන්නේ? ඉතින් ඒක නිසා මේවා ගැන කිසිම අවබෝධයකින් තොරව කරපු දෙයක් අපි තරයේම විරුද්ධයි”