ඒ් මහතා මේ බව සඳහන් කළේ(10) ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැමැති ජාතික ජනබලවේගයේ නීතිඥයෝ පැවැත්වු පී.ටී.ඒ. අහෝසි කරනු! සම්මන්ත්‍රණයට එක්වෙමින්ය.
අද දෙසැම්බර් 10 ලෝක මානව හිමිකම් දිනය වශයෙන් නම් කර තිබෙන්නේ, විශ්ව මානව හිමිකම් දිනය ප්‍රකාශයට පත් කිරීම අනුව යමින්. සෑම පුරවැසියකුම මිනිසකු වශයෙන් උපත ලැබීම නිසා ජාති, ආගම්, කුල ආදී භේදයකින් තොරව මානව හිමිකම් ලැබී තිබෙනවා. ඒ අනුව අප තුළ පහළ වන සිතුවිලි, ගීත, කවි, වෙනත් සාහිත්‍යාංගයකින් හෝ මෝස්තර නිර්මාණයකින් හෝ තවත් පුද්ගලයන්ට සන්නිවේදනය කිරීමට තිබෙන අයිතිය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වශයෙන් හඳුන්වන්න පුළුවන්. නීතියට කලින් මේ ලෝකයට මිනිසුන් බිහි වුණා. ඒ අතීතයේ ප්‍රබලයා ජයග්‍රහණය කර දුබලයා පරාජයට පත් වුණු නීතියක් නැති සමාජයක් තිබුණා. පහුගිය කාලයේ ප්‍රබලයෝ භීතියට පත්වී සිටි බව අපි දැක්කා. මොහොතකට හෝ නීතියක් නැති තත්වයකට පත් වුණාද කියලා අපි කල්පනා කරන්න ඕනෑ. නීතියක් නැති කාලයේත් භීතියෙන් මිදීමේ මාවතක් අවශ්‍ය වුණා. ඒ අනුව බිහි කරගත් ආයතනයකට අප සතු බලතලවලින් කොටසක් පවරා අපට එන උවදුරුවලින් අපව ආරක්‍ෂා කර ගැනීමේ බලතල පවරා ජනතා බලයෙන් පාලකයන් බිහි කර ගත්තා.
ජනතාව සතු සියලු බලතල පාලකයාට දුන්නේ නැහැ. බලතල කොටසක් පාලකයාට පවරා දුන්නා. මානව හිමිකම් කියන්නේ එසේ පවරා නොදුන් බලතල කොටසක්. මේ අයිතිවාසිකම් ජනතාවගෙන් උල්ලංඝනය කළ නොහැකියි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ වගන්ති අටකින් කොටස් තුනක්ම පරමාධිපත්‍ය බලය ගැන විග්‍රහ කර හතරවැනි වගන්තියේ සිට ජනතාවගේ පරමාධිපත්‍ය බලය පවරා දෙන ආයතන පිළිබඳව විග්‍රහ කර තිබෙනවා. නීති පැනවීමේ බලය, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය සහ නීතිය අර්ථනිරූපණය කිරීමේ බලය පවරාදී තිබෙනවා. මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය කියන තවත් අයිතිවාසිකම් දෙකක් කිසිවකුටත් පවරා නොදී අප සතුව තිබෙනවා. අප මිනිසකු වශයෙන් උපත ලැබූ නිසා අනුල්ලංඝනීය බලතල හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ වාගේම ඡන්දය කල්දැමීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට අර්ථනිරූපණය කර තිබෙනවා. රජයක් වර්ණනා කිරීම හෝ විවේචනය කිරීමේ හෝ අයිතිය තිබෙනවා නම්, ලොකු නිදහසක් තිබෙනවා. අප තුළ මතුවන අදහස් සන්නිවේදනය කරන්න බාධා කරන විට විශාල වශයෙන් දැනෙනවා. දෙදෙනකුට පුවරුවක් අරගෙන පේව්මන්ට් එකේ ගමන් කරන්න නොදී විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා අවහිර කරනවා නම්, එතැන මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් තිබෙනවා.
ලංකාවේ මානව හිමිකම් පිළිබඳව පුළුල් පරාසයක විග්‍රහ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රකාශන ගණනාවක මානව අයිතිවාසිකම් පිළිබඳව කරුණු දැක්වෙනවා. ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිර්වචන විකෘති කර අරගලයක් ව්‍යවස්ථාවට අනුව කළ යුතු බවට මතයක් ගෙන යනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව දැඩි වේදනාවකින් පසුවන අවස්ථාවක එක්සත් ජාතීන්ගේ විශ්ව මානව අයිතිවාසිකම් නිර්වචනයක් ඉදිරිපත් කර තිබෙනවා. “පුරවැසියා අත්තනෝමතිකත්වයට එරෙහිව අවසාන විකල්පයක් ලෙස විප්ලවකාරී ලෙස නැඟීසිටීමට අවම මානව අයිතිවාසිකම් හිමි වන බව” සඳහන් කර තිබෙනවා. ඒ වාගේම අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමෙන් මිදීම, භාෂණයේ නිදහස වාගේ තත්වයන් තහවුරු කරන්න රජයකට සල්ලි වියදම් වෙන්නේ නැහැ. රජය වැරදි වැඩ නොකර අත්තනෝමතික නොවී සිටිනතාක් දුරට සිවිල් අයිතිවාසිකම් ආරක්‍ෂා වෙනවා. මුදල් වියදම් වෙන්නේ නැහැ. මේ කොටස ආර්ථික අයිතිවාසිකම් සහ සමාජ, සංස්කෘතික අයිතිවාසිකම් වශයෙන් හඳුන්වා තිබෙනවා. ඉන්දියාවෙත් මේ තත්වය තහවුරු කර තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම යටතේ මේ තත්වය තහවුරු වෙනවා.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “පොදු ජනතාවගේ යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණව” බෙදා දිය යුතු බව සඳහන් කර තිබෙනවා. ඒ වාගේම “ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකර නොවන සේ ක්‍රියාත්මක වන බවට රජය වගබලා ගත යුතුය” යනුවෙන් සඳහන් වෙනවා. තව පැත්තකින් “ජනතාවගේ යහපතට හේතු වන පරිදි රජය විසින් පරිසරය ආරක්‍ෂා කොට සුරක්‍ෂිත කළ යුතුය” කියලත් තහවුරු කොට තිබෙනවා. පොදු දේපළ සුරක්‍ෂිත කර පොදු දේපළ නාස්ති කිරීමට විරුද්ධව, දූෂණයට ලක් කිරීමට එරෙහිව සෘජුව නැඟීසිටීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් හැටියට හඳුන්වාදී තිබෙනවා. කුමන දේශපාලන මතයක් දැරුවත්, පොදු දේපළ ආරක්‍ෂා කිරීමට, ඒ පිළිබඳව විසම්මුතියේ යෙදීමට, පොදු දේපළ ආරක්‍ෂා කිරීමට හඬනැඟීමේ අයිතියක් තිබෙනවා. පසුගිය කාලයේ ගෑස් සිලින්ඩර පිපිරීම පිළිබඳව විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. එක නඩුවක්වත් පවරා නැහැ. නමුත්, සාෆි වෛද්‍යවරයාගේ වඳ සැත්කම් පිළිබඳව නඩු පවරා තිබෙනවා. මෙවැනි තත්වයක් යටතේ ජාත්‍යන්තර ප්‍රජාව පවා පිළිගත් මූලික අයිතිවාසිකම් යටතේ ජනතාවගේ නැඟීසිටීමක් අහුරා තබන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් ක්‍රියාත්මක වෙනවා.
විවාහය ලියාපදිංචි කිරීමට අදාළව, ඉඩම් ලියාපදිංචි කිරීමට අදාළව යනාදී වශයෙන් පනත් සම්මත කර ගත හොත්, ඊට අදාළ නිර්වචන නිශ්චිත වශයෙන් දක්වා තිබෙනවා. සෑම පනතක් ගේන කොටම අදාළ මූලික පනතේ හරයට අදාළ නිර්වචන නිශ්චිතව ලබා දී තිබෙනවා. නමුත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ‘ත්‍රස්තවාදය’ යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද කියලා නිර්වචනය කර නැහැ. 1979 ඉඳලා යුක්තිසහගත ලෙස කාර්යක්‍ෂමව අපරාධ පිළිබඳව විමර්ශනය කර භාවිත වීම අඩපණ කර මිනිසුන්ව කූඩු කරන්න මෙය භාවිත කර තිබෙනවා. ඒ තුළ විශේෂයෙන් දක්වා ඇති පුද්ගලයන්ට එරෙහිව සමහර අපරාධ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව දක්වා තිබෙනවා. මිනීමැරීම, සොරකම් කිරීම, මංකොල්ලකෑම, රටේ අපරාධ නීතිය යටතේ දඬුවම් කළ හැකි වරදවල්. නමුත්, මේ පනත අනුව එකී වරදවල් වරදක් වශයෙන් නැවත හඳුන්වාදී තිබෙනවා. ත්‍රස්තවාදය යනු කුමක්දැයි නිර්වචනය නොකර විශේෂයෙන් නම් කළ පුද්ගලයන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, මන්ත්‍රීවරුන්, අධිකරණ විනිශ්චයකාරවරුන් විශේෂයෙන් ආරක්‍ෂා කළ යුතු බව දක්වා තිබෙනවා. නමුත්, අපේ රටේ විනිසුරු සරත් අඹේපිටිය නඩු තීන්දුවක් ලබාදී ගෙදර යන අතරේ වෙඩි තබා ඝාතනය කළා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කළේ නැහැ. අපරාධ නීති යටතේ අපරාධකරුවන් හඳුනාගෙන දඬුවම් නියම කළා.
අපේ රටේ ආර්ථික අපරාධ ඇතුළු අපරාධවලට එරෙහිව විශාල ජනතා නැඟීසිටීමක් සාමකාමීව සිදු කළා. නමුත්, ඒ අරගලයෙන් මූලික ප්‍රතිලාභ ලැබූ පුද්ගලයාම අත්සන් කිරීමේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගෙන දෙදෙනකු සිරගත කර තිබුණා. ඒ වාගේම වචනවලින් හෝ සංඥාවලින් ජාතිය, ආගම පදනම් කරගෙන පීඩනයට ලක් කරනවා නම්, ත්‍රස්තවාදීමය කටයුත්තක් බව මේ පනතේ සඳහන් කර තිබෙනවා. එහෙම නම්, වෛද්‍ය සාෆිට එරෙහිව ප්‍රචාර ගෙන ගිය අය මේ පනත යටතේ විමර්ශනය කළ යුතුයි. එහෙම දෙයක් කරන්නේ නැහැ. සමහර චීවරධාරීන්ට විරුද්ධව මෙය යොදා ගත හැකි අවස්ථා පසුගිය කාලයේ තිබුණා. නමුත්, සාධාරණ වශයෙන් මෙය යොදා නොගෙන පාලකයන්ට බිය ඇති වූ අවස්ථාවල සාමකාමීව විරෝධය පළ කිරීම් මර්දනය කරන්න දිගින්දිගටම යොදාගෙන තිබෙනවා. රජීව් ගාන්ධිට පහරදීම මේ පනත යටතේ දණ්ඩනයට ලක් කළ යුතුව තිබුණා. නමුත්, එහෙම කළේ නැහැ. ඒ පහරදීමට හමුදා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළා. නමුත්, රටේ මහජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැනනඟින අවස්ථාවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම යොදාගෙන තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරක්‍ෂිත කිරීමට තනිව හෝ සාමුහිකව හෝ කටයුතු කළ අයට විරුද්ධව මේ පනත භාවිත කර තිබෙනවා. අවුරුදු ගණනාවක් මේ පනත යටතේ රඳවා ගැනීම් සිදුකර තිබෙනවා. අසාධාරණ ලෙස එසේ රඳවා ගත් අයකුට වන්දි ගෙවීමේ හැකියාවක් හෝ මේ පනතෙන් ආවරණය කර නැහැ.
මානව හිමිකම් සංස්කෘතියක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන සීමාවලට පිටින් යම් නීතියක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතිබිය යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට පෙළගැසෙමු කියන ආරාධනය මම සියලු දෙනාටම කරනවා.
‘ත්‍රස්තවාදියා’ යන ලේබලය කිසිම කෙනකුට එරෙහිව භාවිත නොවන සමාජයක් අපි නිර්මාණය කර ගත යුතුයි.
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අපි විරුද්ධ විය යුත්තේ ඇයි කියන දේ මේ මානව හිමිකම් දිනයේදී වඩාත් වැඩි අවධානයට ලක්වී තිබෙනවා. මේ පනත යටතේ චෝදනා කර වසන්ත මුදලිගේ දැනටත් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටිනවා. නමුත්, පසුගිය වසර තිහක පමණ කාලය තුළ විශේෂයෙන් දෙමළ සහ මුස්ලිම් ජනතාව මේ පනතේ වින්දිතයන් බවට පත් වුණා. මුස්ලිම් වීම නිසාම පාස්කු ප්‍රහාරයෙන් පසුව ලාංකික රාජ්‍යයේ විශේෂ පීඩනයකට, මර්දනයකට ලක් කළා. අරාබි භාෂාවෙන් රචිත ‘කුරානය’ ළඟ තබා ගැනීම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර තිබුණා. අදටත් ඔවුන් සිරගත කර සිටිනවා. පසුගිය අවුරුදු හතළිහ පුරා මේ පනත යටතේ රඳවාගෙන සිටින දෙමළ සිරකරුවන් සිටිනවා. සිංහල කතා කරන දකුණේ සමාජය මේ පනතින් ගැලවී සිටි සමාජයක් නොවේ. 1980 දශකයේ පැවැති ආණ්ඩුව දකුණේ තරුණයන්ව මර්දනය කරන්න මේ පනත ක්‍රියාත්මක කළා. 1979දී තාවකාලික පනතක් හැටියට හඳුන්වා දුන් මේ පනත ක්‍රියාත්මක කරන්න තරම් පසුබිමක් ලංකාවේ තිබුණාද? ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අදහසක් හැටියට ත්‍රස්තවාදය සලකනවා. නමුත්, ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවට මේ පනත යටතේ ඇත්තටම කර තිබෙන්නේ වාර්ගික ගැටුම් තීව්‍ර කිරීම, විවිධ දේශපාලන මතධාරීන් මර්දනය කිරීම සහ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් එවැනි පිරිස් ඉවත් කිරීමයි.
විශේෂයෙන් 1983 ජූලි මාසයේ නිර්මාණය කළ පසුබිම යටතේ නව සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. ඒ වන විට 1982 ජනාධිපතිවරණයට පවා ඉදිරිපත්වී සිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවේ නියැළී සිටියා. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ දේශපාලනය කිරීම එවකට සිටි තරුණයන්ට ජේ. ආර්. ජයවර්ධන පාලනයෙන් දැඩිලෙස සීමාකර තිබුණා. අතුරුදන් කිරීම්, වධ බන්ධනවලට ලක් කිරීම් සාමාන්‍යකරණය කර රාජ්‍යයේ එක් කොටසක් හැටියට මේ තත්වයන් නඩත්තු කරමින්, ජනතාවට එරෙහිව අපරාධ සිදු කළා. නමුත්, එයට එරෙහිව කිසිදු යුක්තියක් ඉටුකර ගත නොහැකි රාජ්‍යයක් බවට ලංකාව පත්කර තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අද යොදා ගන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එදා ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුල් පෙළේ කොටස්කරුවෙක්. මේ පනතේ තිබෙන මූලිකම ගැටලුව වන්නේ සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවකුට හිමි වන අයිතිවාසිකම් අහෝසි කර තිබීමයි. උදාහරණයක් හැටියට පොලිසියෙන් අත්අඩංගුවට ගත් පසුව අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයකු යටතේ සුපරීක්‍ෂණයට ලක්වෙනවා. ‘බී’ වාර්තාවකින් මහෙස්ත්‍රාත්වරයකුට කරුණු දැක්වීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දෙනවාද? නැද්ද? යන්න තීරණය කරනවා. ඕනෑම සැකකරුවකුට මේ අයිතිවාසිකම් හිමියි.
නමුත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයේ සුපරීක්‍ෂාව ඉවත් කරනවා. ආරක්‍ෂක ඇමැතිවරයාගේ අත්සනින් නිකුත් කරන රැඳවුම් නියෝග මඟින් ඕනෑම සැකකරුවකු ත්‍රස්තවාදියකු බවට පත් කළ හැකියි. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ රඳවාගෙන සිටින්නේ ආරක්‍ෂක ඇමැති ලෙස රනිල් වික්‍රමසිංහගේ අත්සන යෙදීමෙන්. ඔවුන් රඳවාගෙන සිටීමට සාක්‍ෂි තිබෙනවාද යන්න අදාළ වන්නේ නැහැ. මේ පනත යටතේ ආරක්‍ෂක ඇමැති කිසිවකු ඉදිරියේ හෝ කරුණු දැක්විය යුතු නැති අත්තනෝමතික බලයක් පාවිච්චි කළ හැකි වෙනවා. අවුරුදු දහය හෝ පහළොව දක්වා මේ පනත යටතේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින්නේ අදාළ පුද්ගලයාම ලබාදුන් සාක්‍ෂිය උපයෝගී කරගෙනයි. මේ පනතින් ලේබල් කළ පසුව සියලු මානව හිමිකම් අහෝසි කෙරෙනවා. ප්‍රංශ විප්ලවයට පෙර බැස්ටීලයට දානවා කියන්නේ, මේ වාගේ තත්වයකට. ඕනෑම පුද්ගලයකුගේ සියලු සිවිල් අයිතිවාසිකම් අහෝසි කර අපරාධය ඔප්පු කිරීමෙන් තොරව අපරාධකරුවකු හැටියට සලකමින් ක්‍රියා කරනවා. මිනීමරුවා, හොරා, ස්ත්‍රී දූෂකයා වැනි චෝදනා සම්බන්ධයෙන් නිශ්චිත අර්ථකථන තිබුණත්, මේ පනත යටතේ ‘ත්‍රස්තවාදියා’ යන්න අර්ථකතනය කිරීමේ හැකියාව තිබෙන්නේ රාජ්‍යයට පමණයි. මේ පනතේ භයානකකම තිබෙන්නේ මෙතැනයි. රාජ්‍යය අල්ලාගෙන සිටින පුද්ගලයන්ට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන් ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කරනවා. පත්තරයට ලිපියක් ලියන මනුෂ්‍යයකු වුවත්, මේ පනත යටතේ ත්‍රස්තවාදියකු ලෙස හඳුන්වන්න පුළුවන්.
අපි කරන්නේ මොකක්ද කියන එක, වෙනස් අදහස් ඉදිරිපත් කිරීම මේ පනත යටතේ ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කිරීමට හේතු වෙනවා. ආර්ථික අසමබරතාවට එරෙහිව, ජාතිවාදයට එරෙහිව සටන් කිරීම, සමානාත්මතාව, යුක්තිය ඉල්ලා අරගල කිරීම ත්‍රස්තවාදියා ලෙස ලේබල් කිරීමට හේතු වෙනවා. ජනතාවගේ පැත්තෙන් වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීම අප පිළිගත්තේ නැතත්, මුස්ලිම් තරුණයකු හෝ දෙමළ තරුණයකු ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීම අප විසින් පිළිගන්නා තත්වයට මානසිකත්වය ගොඩනඟා තිබීම බරපතළ තත්වයක්. දේශපාලන වශයෙන් විස පැතිරවීමට හැකි ආකාරයෙන් මේ පනත යොදාගෙන තිබෙනවා. ඒ හැර ත්‍රස්තවාදය වැළැක්වීමට මේ පනත කිසිලෙසකින්වත් දායකවී නැහැ. මේ පනත ප්‍රචණ්ඩ තත්වයන් ඇතිවීමට පෙර සම්මත කරගත් එකක්. මේ පනත නිසා ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හකුළා තිබෙනවා. ‘ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත’ කියන පනතකුත් 2018 හඳුන්වා දුන්නා. ඒ පනත සම්මත වුණේ නැහැ. නමුත්, ඒ කෙටුම්පතට අනුව වැඩ වර්ජන පවා ත්‍රස්තවාදය වශයෙන් හැඳින්විය හැකි තත්වයක් තිබුණා. ඇත්තටම ත්‍රස්තවාදියා නිර්මාණය කරන්නෙත් එවැන්නෙක් ප්‍රතිනිර්මාණය කරන්නෙත් පවතින ආණ්ඩුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ, සාමකාමී වැඩවර්ජන මේ යටතේ මර්දනය කළ හැකියි. ජනතාවට එරෙහිව, එකිනෙකාට එරෙහිව ජාතිවාදය වැපිරූ, ජනතාව තුළ අවිශ්වාසය ඇති කළ මේ පනත අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතුයි. ඊට අමතරව කිසිම කෙනකුට එරෙහිව ‘ත්‍රස්තවාදියා’ යන ලේබලය කිසිම කෙනකුට එරෙහිව භාවිත නොවන සමාජයක් අපි නිර්මාණය කර ගත යුතුයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙන කිසිම පනතක් අවශ්‍ය නැති බව අපි පැහැදිලිව කියන්න ඕනෑ
ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අපි රට පුරාම ගෙන ගියා. දින 25ක් පමණ රට පුරා ගමන් කර මෙය අහෝසි කර ගැනීමේ ලොකු උත්සාහයක අපි දිගටම නියැළී සිටිනවා. තවමත් මේ පනත ක්‍රියාත්මක කරන්නේ ‘තාවකාලික පනත’ කියලයි. මාස හයකට 1979දී ගෙන ආ පනත ආරම්භ කළේ බුල් වීරතුංග කියන බි්‍රගේඩියර්වරයාට මාස හයක කාලයක් සඳහා උතුරේ ත්‍රස්තවාදය නිමා කිරීමට බලය දෙන්නයි. නමුත්, ඒ මාස හය තුළ තමයි, ත්‍රස්තවාදයට පෙර ප්‍රචණ්ඩත්වය වර්ධනය වුණේ. 1981දී මේ පනත ස්ථිර කළා. යුද්ධය අවසන් කළ පසුව මේ පනත අහෝසි කළ යුතුයි කියන හඬ නැඟුණා. 1990දී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනකුට එරෙහිව මේ පනත යටතේ නඩු පවරා තිබුණා. ඔවුන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ මා පෙනීසිටියා. ක්ලැන්සි ප්‍රනාන්දු කියන හමුදා නිලධාරියා ඝාතනයට සම්බන්ධ බාබු කියන පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මත වෙනත් පිරිසක් අත්අඩංගුවට ගත්තා. නමුත්, බාබු නිදහස් කර ඔහු පිළිබඳව තොරතුරු හෙළි නොකළේ යැයි චෝදනා කරමින්, අත්අඩංගුවට ගත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත්තා. බාබු කියන පුද්ගලයා ඒ නඩු විභාගය බලන්න අධිකරණයටත් ඇවිත් හිටියා.
පාපොච්චාරණ මඟින් ලබා ගන්නා ප්‍රකාශ සම්බන්ධ නඩු අධිකරණය ඉදිරියේ දිගටම විභාග වෙද්දී, සත්‍ය වශයෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළ අය නිදහස් කර හැරියා. ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන ලද සඟරාවක පිටපත් පනහක් ප්‍රකාශයට පත් කළ තිස්සනායගම් කියන මාධ්‍යවේදියා අවුරුදු දෙකකට පස්සේ අත්අඩංගුවට ගෙන රඳවා ගත්තා. පසු කාලයක චෝදනා ඉදිරිපත් කළේ මේ සඟරාවල අඩංගු කරුණු සිංහල ජනතාව කියැවූවා නම්, ජාතිකත්වයන් අතර ගැටුම් ඇති විය හැකි බවටයි. නමුත්, එවැනි කිසි දෙයක් සිදුවී තිබුණේ නැහැ. තිස්ස නායගම්ගේ අත්අකුරෙන්ම ලියවාගෙන තිබුණු පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව යොදා ගත්තා. අධිකරණය මේ පාපොච්චාරණයේ බරපතළ සැකකටයුතු තැන් තිබියදී පවා පිළිගෙන අවුරුදු විස්සකට දඬුවම් නියම කළා. ඒ වාගේම තවත් පුද්ගලයකු ළඟ එල්.ටී.ටී.ඊ. සංවිධානය නිකුත් කළ ‘ට්‍රැවල් කාඩ්’ එකක් තිබුණා. එය එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිකුත් කළ ‘අයිඩෙන්ටිටි’ කාඩ් එකක් හැටියට හඳුන්වා අධිකරණයට ඉදිරිපත් කළා. අවුරුදු දහසයකට පස්සේ ඔහුව නිදහස් කර තිබෙනවා. මේ සිදුවුණු අසාධාරණයට විරුද්ධව නඩු පැවරීමට පවා ඒ වින්දිතයා ඉදිරිපත් වුණේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඒ තරම් බරපතළයි.
මේ පනත ඉවත් කරන බව කියමින්, වෙනත් නමකින් නැවත ගෙන එන්න යනවා. නමුත්, අප මෙහිදී පැහැදිලි ස්ථාවරයකට එන්න ඕනෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙන කිසිම පනතක් අවශ්‍ය නැති බව රජයට පමණක් නොවෙයි, අප හැමෝම එකතුවී ලෝකයටම කියන්න ඕනෑ.



