නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි“ සුළි කුණාටුව අද (02) පෙ.ව 5.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතී.
මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන්කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 – 90ක් පමණ වන අතර විටින් විට පැ.කි.මී 100දක්වා වැඩි වේ.
ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇත.
මෙම පද්ධතිය නැගෙනහිර වෙරළට ඇතුළුවන කාලයේ දී මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර් 1ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් වෙරළ ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසත්, බලපෑම් ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචිකරුවන් නිවාස තුළට වී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.