29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මහර සිද්ධියේ සම්පූර්ණ වගකීම රජය භාර ගන්නවා

මහර සිද්ධියේ සම්පූර්ණ වගකීම රජය භාර ගන්නවා

මහර බන්ධනාගාරයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම රජය විසින් භාරගන්නා බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (1 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. අදාළ ප්‍රචණ්ඩකාරී සිදුවීම පිළිබඳ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

‘‘අපේ බන්ධනාගාර පද්ධතිය තුළ විසිඅටදාහක පමණ රැඳවූවන් පිරිසක් සිටිනවා. ඒ අතුරින් අච්චු ලැබූ පිරිස හත්දාහක් පමණයි. මේ සිදුවීම සාධාරණීකරණය කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේ හා සමාන සිදුවීමක් පසුගිය කාලේ ඉතාලියෙත් සිදුවුණා. ලෝකයේ පළමුවැනි වතාවට නෙමෙයි මේ වගේ දෙයක් සිදුවුණේ. හැබැයි ඒක නිදහසට කරුණක් නෙවෙයි. ඒ වගකීම සම්පූර්ණයෙන් අපි භාර ගන්නවා රජයක් හැටියට. හැබැයි මේක එකම සිදුවීම විදිහට විග්‍රහ කිරීම සාධාරණ නැහැ. මත් කුඩු සහ මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට රැගෙන යෑම සම්බන්ධයෙන් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණත් යම් මට්ටමකින් ඒවා තවදුරටත් සිදුවෙන බව බොහොම පැහැදිලිව හඳුනාගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලිවම අපි ගනිමින් සිටිනවා. මේක ඉතාමත්ම සංකීර්ණ වැඩ පිළිවෙළක්.

පසුගිය කාලේ රොටි හදන්න පුළුවන් තරම් කුඩු ගේනවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙක් කිව්වා. හැබැයි සවලෙන් අනලා කොන්ක්‍රීට් දාන්න පුළුවන් ගාණට දැන් කුඩු ටොන් ගණන් ගේනවා. ඒවා සියල්ල මර්දනය කරලා තියෙන්නේ. 2014 වෙනකොට මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෝ, පාතාල නායකයෝ තමන්ට ආරක්ෂාව නැති බව තීරණය කරලා රටින් පිටව ගියා. අවාසනාවකට 2015 මැතිවරණයත් සමග ඒ අය දේශපාලන අනුග්‍රහය අනුව ලංකාවට ගෙන්න ගත්තා. ඒ අයම තමයි දැන් ක්‍රියාත්මක වෙලා ඉන්නේ.

නමුත් පසුගිය අවුරුද්ද ඇතුළත අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගත්තා. ඒ හින්දම බොහෝ දෙනෙක් රටින් පිටවෙලා ගියා. මේක දවසකින් දෙකකින් අවසන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගැවසෙන ප්‍රශ්නයක්. බන්ධනාගාර තුළ එවැනි ක්‍රියාකාරකම් වැළැක්වීමට ගනු ලබන පියවරවලට එරෙහිව තමයි මේ වගේ සිදුවීම් සිදුවෙන්නේ. බුද්ධි අංශ තොරතුරු ලැබිලා තිබුණත් පරීක්ෂණ අවසන් වනතුරු සියලු තොරතුරු අනාවරණය කළ ​නොහැකියි. එනමුත් ඉදිරි දින කිහිපයේදී බන්ධනාගාර කොමසාරිස්තුමා ද සම්බන්ධ කරගනිමින් ඔබට සියලුම සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.’’

හැකියාව පවතින රැඳවූවන්ට චෝදනා පත්‍ර ගොනුකර ඇප ලබාදෙන ලෙසට නීතිපතිවරයා කරන ලද නියෝගය පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරීමද මෙම සිදුවීමට බලපා ඇතැයි මාධ්‍යවේදීහු මෙහිදී පෙන්වා දුන්හ. එසේම මහර සිදුවීමෙන් මියගිය පුද්ගලයන්ට රජය විසින් වන්දි ලබාදීමක් සිදුකරන්නේදැයිද ඔවුහු විමසූහ.

ඊට​ පිළිතුරු ලබාදුන්නේ කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිලය.

‘‘මේ පිළිබඳ විමර්ශන වාර්තා පැමිණියාට පසුව තමයි ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. සිදුවුණේ කුමක්ද කියලා අපි තවම දන්නෙත් නැහැ. ඒ වගේම සිදුවීම තවම අවසන් වෙලත් නැහැ. මේ මොහොතේත් යම් යම් දෑ සිදුවෙමින් පවතිනවා. ඒ නිසා මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල මට්ටමින් තවමත් සාකච්ඡා කෙරී නැහැ. ප්‍රමාණවත් කරුණු තවමත් අපි ළඟ නැහැ.’’

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ද ඊට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

‘‘නීතිපතිතුමා ලබාදී ඇති උපදෙස් දවසින් දෙකෙන් ක්‍රියාත්මක කරන්න බැහැ. පසුගිය කාලේ කොළඹ උසාවි වහලා තිබුණා. ඒ නිසා කාටවත් දෝෂාරෝපණයක් කරන්න බැහැ. ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ගැන පරීක්ෂා කරන්න සී.අයි.ඩී. එකටත් භාරදීලා තියෙනවා. සුදුසු කණ්ඩායම් නිදහස් කිරීම උසාවි මාර්ගයෙන්ම සිදුකළ යුතු දෙයක්. පොලිස්පතිවරයාට අවශ්‍ය විදියට මේ අය එළියට ගන්න බැහැ. එනිසා මේ තත්ත්වය නැවත වතාවක් සමාලෝචනය කළ යුතුයි.’’

බන්ධනාගාර විෂය සම්බන්ධ ඇමැතිවරියගේ ඇමැති ධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා මෙසේ අදහස් පළ කළේය.

‘‘ඇමැතිතුමියට මෙම විෂය සම්බන්ධයෙන් දැනුමක් නැහැ කියලා මෙතනදී අදහස් වෙන්නේ නැහැ. විෂයන් තෝරා ගැනීමේදී කෘෂිකර්ම ඇමැතිවරයා ගොවියෙක් වෙන්න ඕනේ නැහැ. සුදුසු නුසුදුසුකම තෝරන්නේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමා සහ ඊට සම්බන්ධ නිලධාරීන් විසින්.

ඒ වගේම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තියෙන අයෙක්. මෑතකදී එක්සත් රාජධානියෙන් කොවිඩ් සම්බන්ධයෙන් වූ ඇමැති ධුරයකට විෂය පිළිබඳ විශේෂඥයෙක් පත් කෙරුණා. ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරියත් ප්‍රජා රෝග පිළිබඳව විශේෂඥවරියක්. ඒ නිසා තමයි ඇයට මේ නව වගකීම පවරලා තියෙන්නේ. ඇය දැනට ඇමැති මණ්ඩලයේ සිටින අය අතුරින් මේ පිළිබඳ සුවිශේෂී දැනුමක් තියෙන අයෙක්. ඇයගෙන් පුරප්පාඩු වුණු ඇමැති ධුරයට තවමත් කිසිවෙක් පත්කරලා නැහැ. පත්කිරීමට නියමිතව තිබෙනවා.’’

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments