26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රට පසුගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කරන්න පෙර...

රට පසුගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කරන්න පෙර ඉදන්ම අපට විදුලිය තිබුණෙ නෑ. දැවැන්ත තෙල් පෝලිම් තිබුණා. ගෑස් තිබු ගෙවල්වල ගෑස් ටැංකි පිපුරුණා. ගොවියට පොහොර තිබුණෙ නෑ- එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

දකුණෙන් ආ හොර මුලක් විසින් කොල්ල කා, බංකොලොත් කරන ලද රටට නැවත අභිමානය ගෙන ආ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ආර්ථික අර්බුදයේ බර මහජනතාවට යොමු කොට ජනතාවට ආර්ථික යුක්තිය අහිමි කොට තිබේ. රට ගොඩනගන අලුත් ආර්ථික මාදිලියක් වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණ කුසලතා පිරි පිරිස වෙත අවස්ථාව ලබා දීමට සූදානම් බව ද, රණවක මහතා ප්‍රකාශ කළේ පසුගිය 19 වෙනිදා මාතර නූපේ සණස රංග ශාලාවේ පැවැති ජනරජ පෙරමුණේ මාතර දිසා සමුළුව අමතමිනි.

“අද මේ රට පත්වෙලා තියෙන තත්ත්වය ගැන අමුතුවෙන් යළි යළි මතක් කරන්න දෙයක් නෑ. රට පසුගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කරන්න පෙර ඉදන්ම අපට විදුලිය තිබුණෙ නෑ. දැවැන්ත තෙල් පෝලිම් තිබුණා. ගෑස් තිබු ගෙවල්වල ගෑස් ටැංකි පිපුරුණා. ගොවියට පොහොර තිබුණෙ නෑ. මාතර තේ වගාව, කුරුඳු වගාව මේ සෑම වැවිලි ක්ෂේත්‍රයක් ම දරුණු අර්බුදයකට ගිහිල්ලා තිබුණා. ඒ වගේම කොවිඩ් එක කාලේ ඉඳන් මේ වෙරළ තීරයේ තිබුණු සංචාරක ව්‍යාපාරය, තෙල් නැති නිසා ධීවර කර්මාන්තය මේ හැම තැනකම විශාල වේදනාවක් මිනිස්සු විඳිමින් හිටියේ. දැන් අපට ඇහෙනවා ප්‍රකාශ වෙනවා දැන් තෙල් පෝලිම් නෑ දැන් විදුලි කප්පාදුව නෑ දැන් ගෑස් ටික ලැබෙනවා, ගොවියට පොහොර ටික ලැබෙනවා දැන් රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරිලාය කියලා විශාල ප්‍රචාරණයක් ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවේ ඇතැම් අයත් ගෙනියනවා. ඇත්තටම සමාජය ඇතුළෙන් බැලුවහම අපිට පේන්නෙ මොකක්ද?

තව අවුරුදු දෙකක් යනකොට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලන එක නෙමෙයි ප්‍රශ්න පත්තරේ හදාගන්න මහාචාර්ය කෙනෙක් හොයාගන්න බැරි රටක් බවට මේ රට පත්වෙනවා. රටේ නිදහස් සෞඛ්‍යය නිසා විශිෂ්ට ගණයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන ගිය, ලෝකයේම ගත්තම ඉතාම අඩු මුදලකින් වැඩිම හොඳ සෞඛ්‍ය සේවයක් තිබූ රටක් බවට අපි පත්වෙලා තිබුණා. දැන් ඒ තත්ත්වය දවසින් දවස බිඳ වැටෙමින් තිබෙනවා. දරුවන්ගේ අනාගතය ගැන අද දෙමාපියෝ බියට පත්වෙලා තියෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? තියෙන දේපළක් හරි විකුණලා දරුවෝ රට යවන භයානක ප්‍රවණතාවක් දැන් ඇතිවෙලා තියෙනවා. දැන් ආණ්ඩුව හිතනවා රට යන එකට නීති දාලා රට යන එකට බාධා කරලා පුළුවන්ද කියලා මේක පාලනය කරන්න.

ඒක නෙමෙයි මේකේ මොකක්ද විසඳුම? ජනතාවට බලාපොරොත්තුවක් දීමෙන් විතරයි. විශේෂඥ වෛද්‍යවරයාට, විශ්ව විද්‍යාල මහාචාර්යතුමාට, වරලත් ඉංජිනේරුවට, වෘත්තීයවේදියාට, ගුරුවරයාට, මුල් ගුරුවරයාට ඇතුළු මේ සමාජයට නායකත්වය දෙන සියලු දෙනාටම, බලාපොරොත්තුවක් ලබා දීමෙන් පමණයි. මේ රට මේ අර්බුදයෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ.

දකුණේ අපේ ප්‍රබල දේශපාලනඥයෙක් අපට කිව්වා. තව අවුරුදු විසි පහකින් මේ රටේ දියුණු තත්ත්වයක් උදා වෙනවා කියලා, අවු. 25 ක් නෙමෙයි තව අවු. 5 ක්වත් මේ රටට ඉතුරු වෙලා නෑ. මේ රටේ ඉන්න වැදගත්ම පිරිස එක්කෝ රට දාලා ගිහිල්ලා. නැත්නම් රට ගැන බලාපොරොත්තු අත් ඇරලා තමන්ගේ වැඩක් බලාගන්න තත්ත්වයට පත් වුණාට පස්සේ රටක් ගොඩනගන්න බෑ. මේ මාතර කියන්නේ නිල්වලා ගඟවත්, තේ වතු කුරුඳු වතු ටිකවත්, මුහුදු වෙරළවත්, මුහුදවත් නෙවෙයි. මේ මාතර තියෙන මානව සම්පත. ඒ මානව සම්පත අපිට අහිමි වුනොත්, රටට නායකත්වය දෙන්න පුළුවන් ඒ නිර්මාණශීලී පිරිස අහිමි උනොත්, එතනින් පස්සේ රටට බලාපොරොත්තුවක් නෑ. අන්න ඒ නිසා තමයි, අපි ඒ බලාපොරොත්තුව ගෙන එන්න, අපි යෝජනා කරන්නේ.

2048 වෙනකන් නෙවෙයි, 2028 දි මේ රට ප්‍රකෘති තත්ත්වයට ගේන තුන් අවුරුදු, කඩිනම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න, අපි තීරණය කළේ ඒකයි.”

දකුණෙන් ගිය හොර මුලක් කොල්ල කා බංකොලොත් කළ රටට නැවත අභිමානය කැඳවා ගැනීම අවශ්‍යය. ඒ අභිමනය නිර්මාණය කළ යුත්තේ ද, දකුණෙනි. එක්සත් ජනරජ පෙරමුණ මාතරට පැමිණියේ ඒ වෙනුවෙනි.

“මාතර 72% ක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට, මහා මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දේ දුන්නා. විපක්ෂයට එක මන්ත්‍රී කෙනයි හිමිවුණේ. මේ මහා ජන ප්‍රවාහයක් ඡන්දය දීලා රට බංකොලොත් වුණාට පස්සේ දැන් අද මේක සීසීකඩ විසිරිලා ගිහින්. දැන් නැවත ආයෙත් සංවිධානය වෙමින් යනවා. නැවත ආයෙත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නාමය විකුණගෙන බලනවා නැවත ආකර්ෂණයක් කරන්න පුළුවන්ද කියලා. රටක් බංකොලොත් කළාට පස්සේ ඒ බංකොලොත්භාවයේ වගකීම භාර අරගෙන හරි නම් මහින්ද රාජපක්ෂ මහත්තයා කරන්න ඕනේ එම පක්ෂය විසුරුවා හරින එකයි. ඒ පක්ෂයේ නැවතත් මේ රටේ දේශපාලනය කරන්න සදාචාරාත්මක හෝ දේශපාලන අයිතියක් නෑ. මොකද මේ රටේ 65 ලක්ෂයක් පවුල් හිඟමනට ඇදලා දාලා තියෙන නිසා මේ රටේ ස්වෛරීත්වය අපට අහිමි කරලා, අපගේ ණය හිමියන්ට මේ රටේ ස්වෛරීත්වය භාර දීපු නිසා, ඒ අයට තවත් මේ රට පාලනය කරන්න අයිතියක් නෑ.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments