21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්මුඛ ආවරණ නොපැලඳි ජොන්සන්ගේ තාත්තාට පවුම් 200ක දඩ

මුඛ ආවරණ නොපැලඳි ජොන්සන්ගේ තාත්තාට පවුම් 200ක දඩ

බිර්තා‍න්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ පියා ස්ටැන්ලි ජොන්සන් ස්ටර්ලිං පවුම් 200ක දඩයකට යටත් කිරීමට ඉඩ ඇති බවට පුවතක් එරට මාධ්‍ය තුළ පළ වී තිබිණි. ඒ, ඔහු මුහුණු ආවරණයකින් තොරව වෙළෙඳසලක ගැවසීමේ සිද්ධියක් හේතුවෙනි. ස්ටැන්ලි ජොන්සන් මේ ආකාරයෙන් කටයුතු කර ඇත්තේ නැවතත් වසංගතය වේගයෙන් පැතිරෙමින් ඇති පසුබිමක් තුළ සෞඛ්‍ය ආරක්‍ෂක පිළිවෙත් දැඩි ලෙස පිළිපදින්නැයි ඔහුගේ පුත් බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය ජනතාවට උපදෙස් දී තිබියදී ය. සාප්පු සංකීර්ණ, පොදු ප්‍රවාහන සේවා වැනි ස්ථානවලදී නිතරම මුහුණු ආවරණ පැලඳීමට පියවර ගන්නා ලෙස අගමැතිවරයා පසුගිය බදාදා පැවැති මාධ්‍ය හමුවකදීද ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් ස්ටැන්ලි ජොන්සන් මුහුණු ආවරණ නොපැලඳ වෙළෙඳසලක සිටිනු හසුවීමෙන් පසු ඔහු ඒ ගැන සමාව ඉල්ලා ප්‍රකාශයක් කර තිබූ බව ද සඳහන් වේ. තමා ටික කාලයක් බ්‍රිතාන්‍යයේ නොසිටි බවත්, එම නිසා අලුත් සීමාවන් ගැන දැනුම්වත්ව නොසිටි බවත් ඔහු පවසා තිබිණි. පසුගිය දිනවල ඔහු කාලය ගත කර තිබුණේ ග්‍රීසියේයි. ඔහු ග්‍රීසියට ගිය ගමනද දැඩි ලෙස විවේචනයට ලක්ව තිබිණි. ඒ, අත්‍යවශ්‍යම කටයුතු සඳහා හැරුණු කොට විදෙස් ගමන්වල නොයෙදෙන ලෙස එරට විදෙස් අමාත්‍යංශය උපදෙස් දී තිබිය දී ඔහු මෙම ගමන ගොස් තිබීම නිසාය. ස්ටැන්ලි ජොන්සන් ග්‍රීසියට ගොස් තිබුණේ එහි පිහිටි ඔහුගේ නිවසක යම් කටයුතු කිහිපයක් සඳහා බැව් සඳහන් වේ.

මේ අතර අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉහත කී මාධ්‍ය හමුවේ දී පවසා තිබුණේ එක්සත් රාජධානිය කොවිඩ් සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක අවස්ථාවක සිටින බවයි. අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී කොවිඩ් මර්දනය සඳහා තවදුරටත් සීමාවන් පැනවීමට තමා පසුබට නොවන බවද ඔහු පවසා තිබේ. නැවතත් රටම අගුළුලන තත්ත්වයක් පවා ඇති විය හැකි බවට පසුගිය දිනවල අදහස් සංසරණය වෙමින් තිබිණි. මේ වන විට දිනකට ආසාදිතයන් 7000ත් 8000ත් අතර සංඛ්‍යාවක් එරටින් වාර්තා වෙමින් තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments