එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇතුළු අනෙකුත් සියලු තනතුරු ලබාගැනීම සඳහා කණ්ඩායම් තුනක තරගයක් නිර්මාණය වී ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
පක්ෂ නායකත්වය හැර අනෙකුත් සියලු තනතුරු දෙසැම්බර් මස 15 වනදායින් පසු අවසන් වන අතර ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එම තනතුරුවලට සුදුස්සන් පත්කිරීමට නියමිතය. මෙහිදී නව ආසන සංවිධායකවරුන්ද පත්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
පුරප්පාඩු වන තනතුරු ලබාගැනීම සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක, හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් කණ්ඩායම් තුනකට බෙදී නිල මට්ටමින් සහ නිල නොවන මට්ටමින් ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර ඇති බවද වාර්තා වේ.
නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, ආශූ මාරසිංහ, සමන් රත්නප්‍රිය, සන්දීප් සමරසිංහ, අනෝමා ගමගේ හා හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනි කෝන්ගහගේද එක්ව කටයුතු කරති. හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක සමග අර්ජුන රණතුංග, රවි කරුණානායක, මර්වින් සිල්වා, ලක්ෂ්මන් විජේමාන්න යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව කටයුතු කරන බව පැවැසේ.
හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සමග පක්ෂයේ යොවුන් පෙරමුණේ සාමාජිකයන් හා අනුරාධපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පැවැති පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට එක් නොවූ නීතිඥවරු පිරිසක්ද එක්ව සිටිති.
මෙවන් පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම් ලෙස ශමල් සෙනරත් පත්කර තිබේ. ඔහු සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ අයයි. කෙසේ වෙතත් නව තනතුරුවලට කණ්ඩායම් තුනක සටනක් නිර්මාණය වී ඇති බැවින් පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවීමටද රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබේ. 2023 වර්ෂය දක්වා පක්ෂ නායකත්වයේ කටයුතු කිරීමටද රනිල් වික්‍රමසිංහට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.