ඉස්ලාම් ආගම වෙනුවෙන් දිවිපුදන බවට සහරාන් හෂීම් ඉදිරියේ ප්‍රතිඥා (බයිසත්) දුන් කාන්තාවන් ඇතුළු අන්තවාදයට සම්බන්ධ විසිඑක් දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන පෙරේදා (5 වැනිදා) කොළඹට රැගෙන විත් ඇත.පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය දියත්කළ සහරාන් හෂීම්ගේ යටතේ අන්තවාදී මත ප්‍රචාරය කළ කණ්ඩායම් සොයා ඇරඹී දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට අයි.එස්.අයි.එස්. මතවාද ප්‍රචාරය කරමින් අන්තවාදී ප්‍රහාර මෙහෙවන කණ්ඩායම් සමග සමාජ ජාලා මගින් මෙම පිරිස සම්බන්ධ වූ බවට අනාවරණය වී ඇත.
කාන්තාවන් හයදෙනා අතර සහරාන්ගේ දේශනවලට සම්බන්ධ වූවන් මෙන්ම ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන දිවුරුම් ලබාදුන් අයද සිටින බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. වයස අවුරුදු 18, 22 හා 48 කාන්තාවන්ද මෙම පිරිසේ සිටින අතර පාස්කු ප්‍රහාරයේදී මරුමුවට පත්වූ බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන්ද ඒ අතර සිටින බව හෙළි වී ඇත.
මොවුන් වෙළෙඳසල් සේවිකාවන්, කුලී වැඩකරන්නන් වශයෙන් සේවය කළ කාන්තාවන් පිරිසක් බවත්, මෙම පිරිස 2018 සිට සහරාන් හෂීම් සමග සබඳතා පවත්වා ඇති බවත් හෙළි වී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් 21 දෙනා අතරින් 17 දෙනෙකු මඩකලපුවේ වන අතර අනෙක් පිරිස, අම්පාර හා සයින්දමරුදු ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මෙම කණ්ඩායම හැසිරවීමට සහරාන් හෂීම්ගේ වට්ස් ඇප් කණ්ඩායමේ නායකයා ලෙස (Admin) පත්කර ඇති විසිහැවිරිදි තරුණයා මුලින්ම කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ මීට සති කිහිපයකට පෙරය. අයි.එස්.අයි.එස්. මතවාද වපුරන මෙම සමාජ ජාලා සඳහා මොහු එක්ව ඇත්තේ වයස අවුරුදු 18දීය.
සහරාන් හසීම්ගේ ජංගම දුරකථනය සම්බන්ධව කළ දීර්ඝ විමර්ශනයකින් මෙම ජාලය ගැන තහවුරු කරගෙන ඇත. මෙමගින් පුද්ගලයන් හත්සියයකට සම්බන්ධ අංක හෙළි වී තිබේ. ඉන්පසුව මෙම ජාලයේ මුල්පෙළ සාමාජිකයන් ලෙස අන්තවාදී මතවාද පැතිර වූ දාහතර දෙනෙකුද ඇතුළුව 21 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්නද අල්විස් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.