ඒ් අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ
ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය. උක්ත වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් ම මෙසේ අවදානමට ලක් ව ඇති බවය. එය 55.7% කි. ග්‍රාමීය ප්‍රදේශවල මෙය 82% ක් තරම් ඉහළ තත්ත්වයකි. පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය වන අතර එහි ප්‍රතිශතය 71.8% කි. අවමය වූ 41.5% වාර්තා වන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙනි.
මේ පිළිබඳ සාකච්ඡා වූයේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදීය. රජයේ සමාජ සුබසාධන වැඩපිළිවෙල, සමාජ ආරක්ෂණ ජාලය සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, සමාජ සේවා දෙපාර්තමේන්තුව, සමාජ ආරක්ෂණ මණ්ඩලය, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
අදාළ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය වර්ධනය වීමේ දී 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ් 19 වසංගතය, 2022 අප්‍රේල් මාසයේ ඇති වූ ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, ණය බැඳියාව සමගම 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ 7.8 දක්වා ගමන් කොට තිබේ.
මෙහිදී කමිටු සභාපතිවරයා සඳහන් කළේ අදාළ වාර්තාව ප්‍රකාරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අංශ තුනක් යටතේ මෙම අවදානම් තත්ත්වය පෙන්වා දී ඇති බව ය. ඒ අනුව; අධ්‍යාපනය, සෞඛ්‍ය හා ස්වභාවික විපත්, ජීවන මට්ටම් එම අංශ තුනයි. දැනට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු අවදානම් කලාපයෙ සිටින බවත්, අවුරුද්දක් ගතවද්දී මේ තත්ත්වය පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු දක්වා වර්ධනය විය හැකි බවත්, සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එබැවින් අවදානම් අඩියේ සිටින ජනතාව උදෙසා විධිමත්, ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් සකස් කිරීමේ අවශ්‍යතාව රණවක මහතා විසින් අවධාරණය කරන ලදී. සිසුන්ගේ පාසල් පැමිණීම, සෞඛ්‍යය, ජලය, ආහාර. විපත්වලට මුහුණ දීමේ හැකියාව, අනුගත වීමේ හැකියාව, ජීවන තත්ත්වය, දේපළ, විරැකියාව, සරිලන රැකියාවක් නොමැති වීම, ණයගැති බව ඇතුළු කරුණු 12 ක් මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සළකා බලා තිබේ.
