රටේ ධීවර සම්පත වෙනත් රටවල් විසින් රැගෙන යාම නතර කරන බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (06 වැනිදා) රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා;
‘‘විශේෂයෙන්ම මම සතුටු වෙනවා අද. මොන පක්ෂෙන් ආවත්, ආණ්ඩු කළත් හැම දේශපාලන නායකයාගේම හිත්වල තිබුණා, හැම දේශපාලන නායකයාටම ඕන වෙලා තිබුණා මේ ධීවර වරායන් හදන්න. නමුත් එය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණේ අපට. හුඟක් අය මොනවා කිව්වත් රට පුරාම අද වෙනකොට ධීවර වරායන් 22ක් තියෙනවා. අපි ධීවර කර්මාන්තය දියුණු කළා. ඒ ගැන අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මම කම්කරු ඇමැති හැටියට ඉඳලා ධීවර ඇමැති වුණාම සංවර්ධනය කරන්න අමාත්‍යාංශයක් භාර අරගෙන ධීවර ජනතාවගේ අවශ්‍යතාවන් ලබා දෙන්න ඒ කාලේ ඉඳන්ම පියවර ගත්තා. අපිට ඒ සඳහා පුළුවන්කම ලැබුණා. රට වටේට මුහුද තියෙනවා. අපි තවමත් පිටරටින් මාළු ගේනවා. අපේ මුහුදේ තියෙන මාළු ටික වෙන රටවල් අරගෙන යනවා. මේක නැවැත්වීමට අපි පියවර ගන්නවා. ධීවර ඇමැති ඇතුළු සියලු දෙනා එකතු වෙලා එය නවත්වන්න පියවර ගන්නවා. අපි අපේ මුහුද ආරක්ෂා කරගෙන ධීවර කර්මාන්තය වඩා දියුණු කරලා ජනතාවට අවශ්‍ය මාළු ටික සපයනවා විතරක් නෙමෙයි අපිට විදේශ මුදල් ලබා ගැනීම සඳහා මාළු පිටරට යැවීමත් කරන්න පුළුවන්. දැනටමත් අපිට විදේශ ආදායම් ප්‍රමාණයක් ලැබෙනවා ධීවර කර්මාන්තයෙන්. අපි මේ කර්මාන්තය දියුණු කරන්න පළාත දියුණු කරන්න අපේ වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා. මේ ආණ්ඩුව පිහිටුවාට පස්සේ ධීවර කර්මාන්තය විතරක් නෙමෙයි අනෙකුත් කර්මාන්තත් දියුණු කිරීම සඳහා පියවර අරගත්තා. විශේෂයෙන්ම යටිතල පහසුකම් දියුණු කරලා ලංකාවෙම යටිතල පහසුකම් ලබාදෙන්න අපි කටයුතු කළා. මේ සියල්ල කෙරේ විශේෂ අවධානයක් මේ රටේ ජනාධිපතිවරයා යොමු කරලා තියෙනවා. ඒ නිසා අපි ඇමැතිවරු වශයෙන් ජනතාවගේ ඒ අවශ්‍යතාවත් ඉටු කරන්න කැපවෙලා ඉන්නවා.
අපි අනිවාර්යයෙන්ම ධීවර නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. මට මතකයි ඉස්සර
අපි යනකොට පොල් අතු පැලවල තමයි ධීවරයෝ හිටියේ. අපි ආරම්භ කළා පොල් අතු පැලවල් සියල්ල අයින් කරන්න. ඒ අනුව අපි උළු වහලවල් ලබා දෙන්න පොරොන්දු වුණා. ධීවර ජනතාවට තට්ටු නිවාස වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. මොරටුව, අම්බලන්ගොඩ, වැලිගම, සීනිමෝදර තට්ටු නිවාස ආරම්භ කරලා අපි නිවාස ලබා දුන්නා. ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ආවා දැල් ටික තියා ගන්නේ කොහෙද කියලා. ආම්පන්න තියා ගන්නෙ කොහොමද කියලා. උතුරේ ජනතාව අවුරුදු 30ක යුද්ධයකින් බැට කෑව. ඒ ධීවර ජනතාවගේ අවශ්‍යතාව ගැන හිතලා ඩග්ලස් දේවානන්දත්, දකුණ බලාගන්න කාංචන විජේසේකරත් පත් කළා යැයිද පැවසීය.
කළමැටිය ධීවර වරායේ ගින්නෙන් සිදු වූ හානි ප්‍රතිපූර්ණයට කළමැටිය ධීවරයන් 26 දෙනෙකු සඳහා, එක් ධීවරයකුට රුපියල් ලක්ෂ හත හමාර බැගින් වටිනා ධීවර යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න බෙදාදීම ද අගමැතිවරයා අතින් මෙහිදී සිදු විය.
රැකව තොටුපොළ ආශ්‍රිතව පවුල් 300 ක් පමණ ධීවර කර්මාන්තයේ නිරත වන අතර, ඉදි කිරීමට යෝජිත රැකව ධීවර නැංගුරම්පොළ තුළින් ධීවර ප්‍රජාවගේ ධීවර කටයුතු සඳහා එය වඩා ඵලදායී වනු ඇත.
තංගල්ල හා හම්බන්තොට ධීවර වරාය අතර පිහිටා ඇති මෙම යෝජිත ධීවර නැංගුරම්පොළ තුළ මීටර් 300 කින් යුතු ප්‍රධාන දියකඩනය, මීටර් 75 කින් යුතු වැලිකඩනය හා නාවුක ගමනාගමනය පහසු කරවීම පිණිස පිවිසුම් ඇළක් ඉදි කිරීමට යෝජිතය.
පිටත එන්ජිම සහිත ෆයිබර් යාත්‍රා 350 ක් සඳහා පහසුකම් සපයා දීම මෙන්ම යාත්‍රා සඳහා ආරක්ෂාකාරී යාත්‍රා පිවිසුමක් ලබාදීම තුළින් ධීවර කාර්මිකයාට මෙන්ම, පවුල්වල පිරිස් සඳහා වඩා සුරක්ෂිත වෘත්තීය මට්ටමක් මේ තුළින් ලබාදීමට අපේක්ෂිතය.
රැකව ධීවර නැංගුරම්පොළ ඉදි කිරීම තුළින් 1500 කට අධික පිරිසකට ජීවනෝපායන් සැලසෙන අතර බහුදින යාත්‍රා 70ක් පමණ ධීවර කටයුතුවල නියැළෙනු ඇත.අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ මෙහි ඉදි කිරීම් අවසන් කිරීමට නියමිත අතර ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 379.53 කි.