21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විදේශ රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනකු දැලේ.

විදේශ රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනකු දැලේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.11.09 දින අත්අඩංගුවට ගෙන තිබේ.

කඳපොල ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රු.935,000.00 ක මුදලක් ලබාගෙන තිබේ. මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් මුදල් ලබාදුන් පුද්ගලයා විසින් කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පැමිණිල්ල විභාග කිරීම සඳහා අදාල පුද්ගලයා කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා අද දින (2023.11.09) කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, කටුනායක, ඩබ්.ඒ.ද සිල්වා මාවතේ කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව Westberg International නමින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට තොරතුරු වාර්තා වූ අතර, ඒ අනුව ඊයේ දින (2023.11.08) විමර්ශන නිළධාරීන් විසින් අදාල ආයතනය වැටලීම් කර තිබේ.

එහිදී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 20ක්ද, විවිධ රටවල රැකියා ලබාදීමට අදාල ලිපිගොනු 31ක් හා රැකියා අයදුම්පත්‍ර 05ක්ද නිළධාරීන් භාරයට ගත් අතර, අදාල ස්ථානය පවත්වාගෙන ගිය මීගමුව, දළුපොත ප්‍රදේශයේ පදිංචි තැනැත්තෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.    

කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින කටුනායක පොලිස් ස්ථානයේ රඳවා සිටි අතර, අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස මහජනතාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments