25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රටේ අනාගතය ගොඩනඟන "පාර" අලුතෙන් කපන වසර බවට මේ වසර පත් කර...

රටේ අනාගතය ගොඩනඟන “පාර” අලුතෙන් කපන වසර බවට මේ වසර පත් කර ගනිමු- පා.ම. විමල් වීරවංශ

උදාවන්නේ දේශීය නිෂ්පාදන සියල්ලටම සියයට 18ක වැට් බද්ද සහ උපරිම බදු පැනවීම මගින් මෙන්ම ආනයනය දිරිමත් කිරීම මගින් මේ රටේ දේශීය නිෂ්පාදන පද්ධතිය මුළුමනින්ම බිඳවට්ටවා තිබෙන වසරක් බව

උත්තර ලංකා සභාගයේ සභාපති,
ජාතික නිදහස් පෙරමුණ නායක පා.ම. විමල් වීරවංශ මහතා සිය නව අවුරුදු නිවේදනය නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ කරුණු තව දුරටත් මෙසේ දැක්වේ…….
මෙහිදී උදුලු තලය ඇතුළු කෘෂි ආම්පන්නවලට සියයට 18ක වැට් බද්ද අදාළ කිරීමෙන් සිදුකොට ඇත්තේ මේ රටේ කෘෂි නිෂ්පාදකයා කෘෂිකර්මාන්තයෙන් ඉවතට ඇද දැමීම ය; අවසානයේ අපේ කෘෂිකර්මාන්තය ග්‍රාමීය ගොවි ජනතාවගෙන් උදුරාගෙන මහා පරිමාණ සමාගම් අතට දීම ය. එය මෙරට ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙළා ආහාර හිඟයකට මඟ පාදනු ඇත.

වත්මන් ආණ්ඩුව කඩිමුඩියේ අයවැය අස්සේ වැට් බදු සංශෝධන පනත ගෙනවිත් සම්මත කරගත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තවත් එක් කොන්දේසියක් ඉටු කරමින් දෙවැනි ණය වාරිකය ලබා ගැනීමටය. මෙසේ ඉදිරියට යන මේ ජන පීඩක ආණ්ඩුව එහි තෙවැනි ණය වාරිකය ගැනීමට නව වසරේ ද ජන සමාජය මත තව තවත් බර පැටවීම නිසැකය. මේ ආර්ථික අර්බුදයෙන් “ගොඩඒමට” මේ ආණ්ඩුව යන වැරදි මාවතේ ඇත්තේ බදු උපරිමයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් සහ අනෙකුත් ජාතික සම්පත් විකිණීම යන පිළියම් පමණි.

අපට සාම්ප්‍රදායිකව “සුබ නව වසරක් වේවා!යි කිව හැකි වුවත් එළැඹෙන්නේ මෑත වසර කිහිපය හා සැසදුව ද ඉතාමත් පීඩාකාරී, ජන සමාජයේ සෑම ස්තරයක්ම දැනට සිටින තත්ත්වයෙන් පහළට ඇද දමන වසරකි. මේ කිසිත් නොතකා මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නටන “නෙයියාඩගමින්” මේ රටට සුගතියක් නොවන බව ඉතා පැහැදිලිය.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ බාහිර බලවතුන් රනිල් වික්‍රමසිංහ පාලනය ලවා සිදුකරවමින් සිටින්නේ අප ජන සමාජයට තිබෙන ප්‍රශ්න වැඩි කිරීමය; එසේ ප්‍රශ්න වැඩි කරමින් නිර්වින්දනය වූ ජන සමාජයක් සෑදීමය. නිර්වින්දනය වූ ජන සමාජයක් තුළ සාමාන්‍ය තත්ත්වයක් යටතේ කිරීමට තබා සිතීමටවත් නොහැකි රටට අහිතකර ක්‍රියාමාර්ග දියත් වීමට පුළුවන.

එසේ දියත් වෙමින් ඇති රටට අහිතකර බරපතලම මෙහෙයුම් දෙක මේ නව වසර එළඹෙන මොහොතේ ශ්‍රී ලාංකීය ජන සමාජය හමුවේ අවධාරණය කළ යුතුව තිබේ. ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ මෙහෙයුම පළමුවැන්නය. ශ්‍රී ලංකාවේ විදුලි බල පනත පවා සංශෝධනය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති ඒකාබද්ධකරණයකට දැනටමත් පාර කැපී අවසානය. ඉන්දියානු රුපියල මෙරට ගනුදෙනුවලදී පිළිගත් මුදල් ඒකකයක් බවට පත් වෙමින් ඇති අතර එය ද සිදු වූ පසු තව ඇත්තේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රේගු දෙක ඒකාබද්ධ කිරීම පමණි. එවිට ශ්‍රී ලංකාව නොදැනුවත්වම ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් වනු ඇත. දෙවැනි මෙහෙයුම වන්නේ ජන විරෝධය මත හකුළා ගත් MCC ගිවිසුම ඇමරිකා එක්සත් ජනපදය සමග යළි අස්සන් කිරීමට සූදානම් වීම සහ SOFA ගිවිසුමට “ඇමරිකා එක්සත් ජනපද හමුදා සාමාජිකයන්ට පරීක්ෂා කර බැලීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව දිය යුතුය” යන කොටස එකතු කිරීමය.

මේ ඛේදනීය ඉරණමින් මිදීමේ ස්වර්ණමය අවස්ථාවක් බවට මේ වසර අග එළඹෙන ජනාධිපතිවරණය පත්කර ගැනීමට අපට හැකි විය යුතුය. “සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමදෙනාම එක්ව මේ රට ගොඩනඟමු!” යන මතයේ සිටින ජාතිවාත්සල්‍යයෙන් පණ පෙවුණු බලවේගවල දේශපාලන මගපෙන්වීම සහ දේශපාලන නායකත්වය කරළියට ගෙන ඒම එහි පළමු පියවරය. ඒ අවස්ථාව ජාතිවාත්සල්‍යයෙන් තොර, හුදු ජනප්‍රියවාදී සටන් පාඨ තොරොම්බල් කරමින් ශ්‍රී ලංකාව කඩාවැටීමේ එකම සහ අවසාන සාධකය දුෂණය සේ දකින අපේක්ෂකයන්ට කොල්ලකෑමට ඉඩ නොදිය යුතුය. එසේ ඉඩ දුන්නොත් එමඟින් ලැබෙන්නේ ද ඉහත කී අනතුරුදායක ක්‍රියාවලියේම දිගුවක් මිස වෙන කිසිවක් නොවන බව ද මේ එළඹෙන නව වසරේ අවධාරණය නොකරම බැරිය.

මේ සතුරු වටලෑමෙන් මේ රට බේරාගැනීමත් රටේ අනාගතය ගොඩනඟන පාර අලුතෙන් කපන වසර බවට මේ වසර පත්කර ගැනීමත් මුළුමහත් ලාංකීය ජන සමාජයේ අදිටන විය යුතුව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments