25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බදුවංචාකාරයින් දැන් ඇතැම් මාධ්‍ය යොදාගෙන රේගුවට පහර දෙන්න උත්සහ කරනවා රේගුවේ වැඩ...

බදුවංචාකාරයින් දැන් ඇතැම් මාධ්‍ය යොදාගෙන රේගුවට පහර දෙන්න උත්සහ කරනවා රේගුවේ වැඩ නීත්‍යානුකූලයි. ඉදිරියේදී තාක්ෂණය යොදාගෙන වැඩකරන්නත් රේගුව සූදානම් – අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් , මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ

අනුර ප්‍රේමලාල්

ශ්‍රී ලංකා රේගුවේ වර්තමාන කාර්ය සාධනය හා එම ආයතනය පිළිබඳ ප්‍රචාරය වන විවිධ අසත්‍ය ප්‍රකාශ පිළිබඳ පැවැත්වු විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් කරුණු දැක්වු අරුක්ගොඩ මහතා වැඩිදුරටත් මෙසේද කීය…………ඉකුත් 2023 වසර ඉතාමත් සාර්ථකයි. රුපියල් බිලියන නවසිය හැත්තෑවක වාර්තාගත ආදායමක් ලබාගත්තා. ඒක රේගුව ඉතිහාසයේ ලබාගත් ඉහලම ආදායම. මුදල් අමාත්‍යාංශය අපිට ලබාදී තිබු ඉලක්කය වූයේ රුපියල් බිලියන අටසිය අනු දෙකයි. එවිට අපි අතිරේක රුපියල් බිලියන හැත්තෑ අටක් අතිරේකව සොයා තිබෙනවා. ලබාදුන් ඉලක්කයට වඩා ඉහල ආදායමක් ලැබීම ගැන අපි සතුටු වෙනවා. මීට හේතු කිහිපයක් තිබුණා රජයේ බදු ප්‍රතිපත්තිය හා විනිමය අනුපාතය වැඩිවීම එක හේතුවක්. අනෙක් පැත්තෙන් බදු ආදායම එකතු කිරීමේදී එම ආදායම් උපයන ආකාරයන් සම්පූර්ණයෙන් වෙනස් කරලා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් අවධානම් කළමනාකරණ මුලධර්ම අනුගමනය කරමින් අවධානයන් ඉහල තත්ත්වයේ ඇති ආනයනයන් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හා විමර්ශන කරලා. බදු වංචා කරුවන් අත්අඩංගුවට අරගෙන දඩ හා දණ්ඩන පනවලා ඔවුන්ව නියම මාර්ගයට ගෙනවිල්ලා තමයි අපිට මේ ඉහල ආදායමක් ලබාගැනීමට හැකිවූයේ.

මේ වසර ගත්විට මෙම මාසයේ (28)වනවිට දැනට රුපියල් බිලියන පන්සිය අසුඑකක් උපයා තිබෙනවා. ඉකුත් වසරේ රුපියල් බිලියන අටසිය අනුදෙකක්වූවත් මේ වසරේ ඉලක්කය රුපියල් බිලියන එක්දහස් පන්සීය විසිහතර දක්වා ඉහල දමා තිබෙනවා. ඉකුත් (28)වනවිට ලබාදී තිබෙන ඉලක්කයට වඩා ඉදිරියෙන් සිටිනවා. එහිදි අපේ ඉලක්කය වන්නේ රුපියල් බිලියන පන්සිය හැත්තෑ අටයි නමුත් අපි එම ඉලක්කය ඉක්මවා ගොස් සිටීම ගැන සතුටු වෙනවා. මේ වසර අවසන් වනවිට අපිට අවශ්‍ය ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ මගින් රජයට අවශ්‍ය මුදල් ලබාදී රටේ සංවර්ධනයට දායකත්වය ලබාදීමේ හැකියාව ඇතිවෙයි කියලා විශ්වාසයෙන් සිටිනවා.

ඒ අනුව රේගු අධිකාරියේ සියලු කාර්ය මණ්ඬලයට රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ ස්තූතිය හිමිවෙනවා. ඔවුන් මේ සඳහා දැක්වු සුවිශේෂි දායකත්වය සම්බන්ධයෙන්. මේ ආදායම් ඉපයීමේදී ඉකුත් වසරට වඩා තවත් අලුත් ක්‍රමවේදයන් භාවිතා කිරීමට නැත්නම් හඳුන්වා දිමට බලාපොරොත්තු වෙනවා. මිනිස් සම්බන්ධයෙන් තොරව දත්ත පද්ධති හරහා ක්‍රම භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා . එහිදි නියමාකාරයෙන් සාර්ථකව බදු වංචාකරුවන් හඳුනාගැනීමට හැකිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

මෙම ආදායම් ඉපයීමේ ප්‍රගතිය ඉදිරියට ගෙන යන ගමන්ම පසුගිය සති කිහිපයේදී දුටුවා මාධ්‍ය මගින් විශාල දෝෂාරෝපණ රේගුව වෙත එල්ල කරනවා. විශේෂයෙන් රේගු නිලධාරින්ට ගෙවන තෑගි මුදල් එනම් තෑගි අරමුදල සම්බන්ධයෙන් නීතිරීති සම්බන්ධයෙන් ,අතිකාල මුදල්, ඇඟිළිසලකුණු භාවිතා නොකිරීම සම්බන්ධයෙන් සත්‍යයෙන් තොර වාර්තා මාධ්‍යවල පලවෙනවා දැක්කා. මේ රේගුවේ කීර්තිනාමයට තදින් බලපානවා. ඇතැම් වාර්තාවල තිබුණා බදු ආදායමෙන් වැඩි හරියක් රේගුව කන හැටි. මුදල් ඇමැතිටත් කොළය වහලා රේගු නිලධාරින් මුදල් කනවා කියලා මෙම අසත්‍ය පුවත්වලින් ගම්‍ය වෙනවා. ඒ එක්කම රේගුවේ ලොක්කන්ට කෝටි දෙදහස් හාරසීයකට සන්තෝෂම් දීලා තිබෙනවා කියලා එම වාර්තාවල තිබෙනවා.

මේ පුවත් සියල්ලම ගත්තාම සත්‍යයෙන් තොර විකෘති කොට පුවත් පළකිරීමක් ලෙසත් ජනතාව මුලා කිරීමක් ලෙසත් හැඳින්විය හැකියි.

මුලින්ම රේගු නිලධාරින්ට ත්‍යාග ගෙවීම සම්බන්ධයෙන් එම අරමුදල නීත්‍යානුකූල නැති බව කියලා දොස් කියනවා. මෙම අරමුදලෙන් මුදල් ගෙවන්නේ රේගු නිලධාරින්ට පමණක් නොවේ. රේගු වංචාවකට සාර්ථක ඔත්තුවක් සපයන ඕනෑම අයකුට මේ අරමුදලෙන් ත්‍යාග මුදල් ලබාගැනීමට හිමිකමක් ලැබෙනවා. ඒ වගේම රේගු වංචා වැටලීම සම්බන්ධයෙන් සහභාගිවන අනෙකුත් ආයතනවල නිලධාරින්ට පොලීසිය, විශේෂ කාර්ය බලකාය,නාවික හමුදාව හා ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරින් වගේ රේගුවෙන් පරිබාහිර දෙපාර්තමේන්තුවල සේවකයින්ටත් එම අරමුදලෙන් අපි මුදල් ගෙවනවා. ඒ නිසා මේ අරමුදල රේගු නිලධාරින්ට පමණක් මුදල් ගෙවන්න තිබෙන අරමුදලක් කියන තත්ත්වය වැරදි මතයක්. මෙය සමස්ත මහජනතාවටම විවෘතවු අරමුදලක්.

මේ අරමුදලෙන් කරන ගෙවීම් නීත්‍යානුකූල නොවේ කියන ඇතමුන් කියන්න උත්සහ දරනවා පුවත්පත් වාර්තා හරහා. රේගු ආඥාපනතේ 153 වගන්තියේ සඳහන්වී තිබෙනවා රේගු දෙපාර්තමේන්තුව එකතු කරන දඩ හා දණ්ඩනවලින් සැදුම් ලත් අරමුදලකින් 50%ක් රේගු නිලධාරින්ට ත්‍යාග වශයෙන් ගෙවිය යුතුයි. මෙය පාර්ලිමේන්තුවේ සම්මතවු පනතක්. ඒ නිසා මේකට කිසිම අයකුගෙන් අතිරේක අනුමැතියක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ පනතේ වැඩිදුරටත් සඳහන් වෙනවා ඉතිරි 50% න් 30%ක්කළමනාකරණ හා වන්දි අමුදලට වෙන්කරනවා ඉතිරි 20% රජයට යනවා. මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මතවූ පනතකට අනුව සිදුවන දෙයක්.
මේවනවිට ශ්‍රී ලංකා රේගුව අනුගමනය කරන මුදල් ගෙවීමේ ක්‍රමය ආරම්භ වෙලා තිබෙන්නේ 1988දී. ඊට පෙරත් ගෙවා තිබෙනවා නමුත් දැනට තිබෙන ක්‍රමය ආරම්භය වෙලා තිබෙන්නේ 1988 ජනවාරි මාසයේ 28ය. එවකට සිටි රේගු අධ්‍යක්ෂ ජනරාල් එමකාලයේදී එම තනතුර හැඳීන්වූයේ රේගු ප්‍රධාන අයකැමි ලෙසය.පියසීල වීරසේකර මැතිතුමාගේ අත්සනින් තමයි මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙන්නේ. එහිදි ඒ මහතා නීත්‍යානුකූලව කටයුතු කර ඇත. වසර තිස්හයකට පෙර අනුමැතිය දුන් ලියැවිල්ල අස්ථාන ගතවී තිබෙනවා. ගොඩනැඟිලි මාරුකරද්දි එම කාලයේදී මේ දේ වුණාද දන්නේ නෑ. 2004 වසරේදී අපි ටයිම්ස් මන්දීරයේ සිට මෙම නව ගොඩනැඟිල්ලට එනවිට අදාල ලිපි ලේඛන මේ ස්ථානයට ගෙන එනු ලැබුවා එහිදි ඇමැතිවරයා අනුමැතිය ලබාදුන් ලියැවිලල් සොයාගන්න බැරිවු නිසා වෙන්න ඇති බොහෝ අය කියන්නේ මෙය නීත්‍යානුකූල නොවන බව. වසර තිස්හයක් තිස්සේ මේක ගෙවාගෙන යනවා. එදා සිටි රේගු අධ්‍යක්ෂ ජනරාල් නීත්‍යානුකූල නොවන දෙයක් කරන්න ඉඩදෙයි කියලා හිතන්න අමාරුයි. ඒ මහතා මේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකදී කියා තිබෙන්නේ අවශ්‍ය අවසර ඒ මහතා ගත්තා කියලයි. මේ ගෙවීම් සම්බන්ධයෙන් උපරිමාධිකරණයෙන් පැවැති නඩුවකදී මෙම ගෙවීම් ක්‍රමය නීත්‍යානුකූලයි කියලා අභියාචනාධිකරණය පිළිගෙන තිබෙනවා. ඒ නිසා ඊට වෙන කිසිවෙකුගේ අනුමැතිය අවශ්‍ය වෙන්නේ නෑ.

සෑම වසරක් මුලදීම එම අරමුදලෙන් ගෙවීමට බලාපොරොත්තුවන මුදල් 1988දී සම්මත කරපු ක්‍රමයට අනුව නිලධාරින්ට ඒ වසර තුල ගෙවන්න තිබෙන මුදල් ඒ ඒ ප්‍රතිශතයන්ගෙන් මුදල් අමාත්‍යවරයාට දාලා පුද්ගලිකවම රේගුව අනුමත කරවා ගන්නවා.

මේ වසරේ ගෙවන්න තිබෙන මුදල්වලට මුදල් ඇමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පුද්ගලිකවම අවශ්‍ය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ නිසා මෙම ගෙවීම්වල නීත්‍යානුකූල නොවන බව කියනවානම් එය අසත්‍ය තොරතුරක්. ඉදිරියේදී මෙම ගෙවීම් ක්‍රමයේ වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි රජයට යෝජනා කර තිබෙනවා නිලධාරින්ට ගෙවන ප්‍රතිශතයෙන් 5%ක් අඩුකරලා එය රජයට යවන්න කියලා. එම සංශෝධන අපි මුදල් අමාත්‍යවරයා වෙත යවා අවශ්‍ය අනුමැතිය ලබාගන්න අතර දැනට සිදුකරන මෙම ත්‍යාග මුදල් ගෙවීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූ බව අවධාරණය කරනවා.

අපි බලන්න ඕනේ මෙම ත්‍යාග මුදල් ගෙවීමේදී කාටද රිදෙන්නේ කියලා. විශේෂයෙන්ම බදු වංචාකරුවන් නීතියේ රැහැනට අසුකරලා දඩ හා දණ්ඩණයන්ට පැමිණවීමේන් තමයි එම අරමුදලට මුදල් වෙන් කෙරෙන්නේ. ඒ තුලින් ත්‍යාග ලබාගන්නා නිලධාරින් බලපෑම්වලට යටත් නොවී තමන්ගේ රාජකාරිය ඇතැම් අවස්ථාවලදී ජීවිත පවා පරදුවට තබා රාජකාරි නිසි අයුරින් ඉටුකර ගැනීමට ධනාත්මකව බලපානවා. මේ ත්‍යාග මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවේ කියලා වාසි ලබන්න හදන්නේ බදු වංචාකරුවන් බව පැහැදිලියි.

මේ මුදල් ගෙවීමේ රජයට තිබෙන වාසි ගැන කතා කළොත් උදාහරණයක් ලෙස බැලුවොත් 2018දී රේගු නිලධාරින් දීර්ඝව සිදුකරන විමර්ශනයකට අනුව යම් ආනයනකරුවකුගේ වංචාවක් සොයාගත්තා ඒ බදු වංචාව විමර්ශනයෙන් එළිදරව් වුණා. පරීක්ෂණ පවත්වා ඒ ආනයනකරුට රුපියල් මිලියන අසූවක දඩයක් පැනවූවා. එම මුදලින් රුපියල් මිලියන වසිහයක් සිද්ධියට සම්බන්ධ එම නිලධාරින්ට ත්‍යාග මුදල් වශයෙන් ගෙවා තිබෙනවා. නමුත් ඊට පස්සේ එම ආනයනකරු රජයට ගෙවන්න ඕනේ නියමිත තීරු බදු ගෙවලා එම ප්‍රවහයට ඇතුළ්වී තිබෙනවා. 2018 සිට 2024 දක්වා අර විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස ඒ ආනයනකරු අතිරේකව මිලියන හයසිය හැටක් ගෙවලා තිබෙනවා. මිලියන විසිහයක් ත්‍යාග මුදල් ගෙව්වාට ඒ විසිහතර ගුණයක් මුදලක් රජයට උපයා දී තිබෙනවා. ඒ නිසා සාධාරණව සිතන අයකුට මෙම ත්‍යාග මුදල් ගෙවීම තුලින් රජයට පාඩුවක් නොව ලාභයක් සිදුවි තිබෙන බව. ඒ නිසා නිවැරැදිව බදුගෙවන අයට අපි සාධාරණයක්ද ඉටුකරනවා වෙනවා වංචාකරුවන්ට දිගටම ඒ දේ කරන්න දුන්නොත් සාධාරණව බදු ගෙවන අයට අසාධාරණයක් වෙනවා. අනතුරුව සමස්ථ රටේ ආර්ථිකයටම වාසියක් සිදුවෙනවා.

මෙම ත්‍යාග මුදල් ගෙවන්නේ ඉහල නිලධාරින්ට නොවේ මෙහෙයුම් නිලධාරින්ට පමණයි එම මුදල් ගෙවන්නේ. එම නිසා මෙම පුවත්පත්වල තිබෙන ප්‍රවෘත්ති දැකලා අපිට ඔත්තු සපයන අය අධෛර්යමත් වෙන්න අවශ්‍ය නෑ. දිගටම අපි ත්‍යාග මුදල් ගෙවාගෙන යනවා.

අතිකාල ගෙවීම සම්බන්ධයෙන් සත්‍ය විකෘති කරලා මාධ්‍යවල පල කර තිබුණා. කෝටි දෙසීයක් ආදායම අරගෙන කෝටි විස්සයි ආණ්ඩුවට ගෙවලා තිබෙන්නේ කියලා. ශ්‍රි ලංකා රේගුව නිලධාරින්ට අතිකාල ගෙවන්නේ රජයෙන් සතපහක්වත් අරගෙන නොවේ. ඉකුත් වසරේ ආදායම වූ රුපියල් බිලියන නවසිය හැත්තෑවෙන් අපි සතපහක්වත් නිලධාරින්ගේ ත්‍යාග මුදලට බැර කරගෙන එසේ බදු මුදල් එම අරමුදලට ගන්නේ නෑ. සේවා සපයන අයගෙන්මුදලක් ලබාගෙන ඉන් අරමුදලක් පිහිටුවා එම මුදලින් තමයි නිලධාරින්ට අතිකාල ගෙවන්නේ. නමුත් අපේ බදු මුදල් භාණ්ඩාගාරයට යැව්වාම වෙනත් දෙපාර්තමේන්තුවල අයගේ අතිකාල ගෙවන්න භාවිතා කරනවා. රජයේ මුලින් ලබාදී තිබෙන නිර්දේශ අනුව තමයි මේ කාර්යන් සිදුවෙන්නේ නීත්‍යානුකූලව. නිලධාරින්ට අතිකාල ගෙවන්නේ 2007 වැටුප පදනම් කරගෙනයි. ඇත්ත වශයෙන්ම එය යාවත්කාලීන විය යුතුයි. එම සංශෝධ සිදුවි නෑ. එයින් නිලධාරින්ට අසාධාරණයක් සිදුවි තිබෙන බව අපි පිළිගන්නවා. ඒ නිසා නොගෙවිය යුතු අයට අපි අතිකාල ගෙවනවා කියන චෝදනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා.

රජය පිළිගත් ක්‍රමයකට තමයි අපි අතිකාල ගෙවන්නේ. පැමිණීම හා පිටවීම අපි සළකුණු කරනවා. ඒවාට වෙනම පොතක් පිළියෙල කර තිබෙනවා. එම ලේඛනය අනුව විටින්විට අධීක්ෂණයක් කොට තමයි සිදුවෙන්නේ. ඇඟීලි සළකුණු කිරීම භාවිතා කරන්නේ නෑ කියන චෝදනාව තිබෙනවා. එය භාවිතා කරන්නේ මොකද එය රේගුවට ගැලපෙන්නේ නෑ. රේගුව කියන්නේ පැය විසිහතරම රාජකාරි කරන දෙපාර්තමේන්තුවක් එහි තිබෙන රාජකාරි ස්වභාවය අනුව ඇඟිලි සළකුණු කිරීම අපිට ප්‍රායොගිකව අපහසුයි. ඇතැම් අවස්ථාවල රාත්‍රී එකට දෙකට නිලධාරින් නිවෙස්වලින් ගෙන්වලා රාජකාරි සඳහා අනුයුක්ත කරනවා හදිසි අවශ්‍යතා අනුව. විනාඩි පහෙන් දහයෙන් එක එක ස්ථාන කරා අපි යායුතුයි. වංචා වැළැක්වීම සඳහා. ශ්‍රී ලංකා රේගුව පමණක් නොවේ ඇඟීලි සළකුණු භාවිතා නොකර තවත් දෙපාර්තමේන්තු ලංකාවේ තිබෙනවා. ඒ ගැන කව්රුත් කතා කරන්නෙත් නෑ.

කොවිඩ් කාලයේ ඔය ඇඟිලි සළකුණු ගැන කතා කරන නිලධාරින් නිවෙස්වලට වී දොරවල් වසාගෙන සිටිද්දි මේ රටට එන ගුවන් යානවලින්, වරායේ නැව්වලින් යම් පිරිස් කැඳවාගෙන යන් එන භාණ්ඩ පිරික්සන්න රේගු නිලධාරින් කිසිදු පැකිලීමක් නැතිව ජීවිත අවධානම ගැන නොසිතා කටයුතු කළා. අපි බලන්න වෙනවා ප්‍රායෝගිකව නිලධාරින්ගෙන් කාර්යක්ෂම සේවා ලබාගන්නේ කොහෝමද කියලා.

රේගුව බදුවංචාවලට අදාල භාණ්ඩ රාජසන්තක කළ පසු ඒ විකිණීම සිදුකරමින් තිබෙන්නේ ටෙන්ඩර් පටිපාටියකට අනුවයි. මේ ටෙන්ඩර්වලදී ඇතමුන් සමහරුන්ට සහභාගි වෙන්න නොදි බලපෑම් කරනවා කියලා යම් යම් පුවත් අපි දැක්කා. රේගුව මේ භාණ්ඩ අලෙවිය කරගෙන යන්නේ රජය විසින් ලබාදී ඇති පටිපාටියක් අනුවයි. මෙහි ලැයිස්තුවක් මහජනතාවට ලබාදෙනවා මාධ්‍ය මගින් පසුව ඒ කොන්දේසි සපුරන ඕනෑම අයකුට තමන්ගේ ලන්සුව ඉදිරිපත් කරන්න හැකියි. ඒ සම්බන්ධයෙන් රේගුව පැත්තෙන් කිසිම බාධාවක් නෑ. නමුත් අපිට ආරංචියක් තිබෙනවා යම් යම් පුද්ගලයන් ලන්සු තබයි කියලා බලපෑම් කරනවා කියාලා. නමුත් අපි දැනට ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා ඊබිඩින් ක්‍රමය ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට අන්තර්ජාලය හරහා මේ රටේ ඕනෑම ස්ථානයක සිට රේගුව විකුණන්න ඉදිරිපත් කරන භාණ්ඩවලට ලන්සු තබලා අවශ්‍ය ආකාරයට මිලිදි ගැනීමේ ක්‍රමයක් අපි සකස් කරගෙන යනවා. ජපානයේ තිබෙන වාහන වෙන්දේසී ක්‍රමය ඒ සමාන ක්‍රමයකට අපි යන්න බලාපොරොත්තු වෙනවා. මේ තුලින් කොළඹට පැමිණිලා රේගුවට පැමිණිලා ලන්සු තබන ක්‍රමය නැතිව අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචිවි ඉතාම විනිවිදව කටයුතු කොට කරන්න හැකිවෙයි. ඒ සඳහා අවශ්‍ය මෘදුකාංඟය මිලිදි ගැනීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියත් එම ක්‍රමයම අනුගමනය කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

උපාධි ගන්න මුදල් අරගෙන් රේගු නිලධාරින් 174ක් කට්ටි පැනලා කියන කතාවත් අසත්‍ය කතාවක්. රේගු නිලධාරින්ට පශ්චාත්  උපාධිය ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර සඳහා මාස්ටර්ස් උපාධිය තිබෙන්න ඕනේ. ඒ සඳහා මුදල යම් සීමාවකට අදාලව ලබාදෙනවා ඒ වෙනුවෙන් කාලයක්ද ලබාදෙනවා. එම නිලධාරින්ට ලබාදී තිබෙන කාලය ඉකුත්වී නෑ. මූලික වශයෙන් ගෙවීමක් ලබාදෙන අතර සම්පූර්ණ මුදල ගෙවන්නේ උපාධිය අවසන් කොට සහතිකය ලබාදුන් පසුවයි. ඒ සඳහා ගිවිසුමක් තිබෙනවා එම නිලධාරින් බැඳි සිටිනවා වසර දහයක කාලයක් රේගුව තුල අනිවාරයෙන් සේවය කිරීම සඳහා. එම උපාධිය සම්පූර්ණ නොකරන අය තමා ගත් මූලික මුදල් යළි ලබාදීමක්ද සිදුකරන්න වෙනවා.

ශ්‍රී ලංකා රේගුව තාක්ෂණය හඳුන්වා දෙනවාට සීයයට සීයක්ම එකඟයි. එමෙන්ම විදේශයන්ගේ වගේම සෑමකටයුත්තක් සඳහාම හඳුන්වාදීමේ එකම අංකයක් ලබාදීම හොඳයි එවැනි ක්‍රමයක් විදේශයන්වලත් තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments