දුමින්ද නාගමුව……අපිට මේ වෙලාවෙ මතක් වෙන කතාවක් තියෙනවා. ඉසගීන් මැහැල්ල කියලා මක්සිම් ගෝර්කි ලියපු කෘතියක තියෙනවා දංකෝගේ හදවත කියල කතාවක්. ජනතාව මහා කැලේක අතරමං වෙලා සියලු බලාපොරොත්තු අතහැරලා විලාප නගමින් ඉද්දි ඒ ඉරණම බාර නොගත් දංකෝ කියන තරුණයෙක් ඉදිරිපත් වෙලා ඔවුන්ට පාර පෙන්නනවා. දංකෝ හදවත ගලවලා ඒ හදවතේ ආලෝකයෙන් ජනතාවට පාර පෙන්නනවා. ඔහු තුළ තිබුණ මානව දයාව හේතුවෙන් ඔහුගේ හදවත දිදුලනවා. ඒකෙන් ගෝර්කි කියන්නෙ අසීරු අවස්ථාවල ඉදිරිපත් වන මිනිස්සු ගැන සුළුවෙන් තකන්න එපා. ඔවුන් කරන කාර්යභාරය ඉතා විශාලයි. අද මෙතන ඉඳගෙන ඉන්න අය කවුරුත් නිකම්ම නිකම් ඇවිල්ල වාඩිවෙච්ච අය නෙවෙයි. පහුගිය කාලෙ මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් මොකක්හරි අරගලයක් ක්‍රියාත්මක වුණා නම් ඒ හැම තැනම හිටපු අය මෙතනට ඇවිල්ල ඉන්නවා. මෙතන ඉන්නවා ජාතික පීඩනයට එරෙහිව, ජාතිවාදයට එරෙහිව අරගල කරපු මිනිස්සු, පරිසර විනාශයට එරෙහිව අරගල කරපු මිනිස්සු, තරුණයන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරපු මිනිස්සු, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරපු මිනිස්සු, ගොවි, කම්කරු, ධීවර සියලුම ආකාරයේ අරගලවල නිරත වුණ ජයග්‍රහණ දිනාදුන්න මිනිස්සු මෙතන ඉන්නවා. අපිට තියෙනවා ඕනෑම ප්‍රතිපත්ති ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් පැහැදිලි වැඩපිළිවෙළක්. IMF එකෙන් ඉවත් වෙන්න ඕනිද? ඔව් ඉවත් වෙන්න ඕනි. ජාතික ගැටලුවට උත්තරය? ස්වයං පාලනය. අපි ජන අරගල සන්ධානය විදිහට ඉදිරි ජනාධිපතිවරණයට, මහමැතිවරණයට දෙකටම ඉදිරිපත් වෙනවා. අරගලයේ අපේක්ෂාවන් ඉදිරියට ගෙනයනවා. අපි රනිල්ට කියනවා ඡන්ද නොතියා වෙට්ටු දාන්න ලෑස්ති වෙන්න එපා.
ධනූෂ පතිරණ……..රනිල් රාජපක්ෂ ආණ්ඩුව IMF එකත් එක්ක එකතු වෙලා ක්‍රියාත්මක කරන නවලිබරල්වාදී ආර්ථිකය තුළ කවුරුත් කතා නොකරන කාරණයක් තියෙනවා. මේක මාධ්‍ය මගින්වත් හරියට ගියේ නෑ. IMF එක කියනවා මේ රටේ ආර්ථික පරිහානියට එකම හේතුව බදු ආදායම අවම වීමලු. ඒක පහළට ගියෙත් අනූ ගණන්වල ඒගොල්ලොන්ගෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින්. දැන් ඒ මිනිස්සුම ඇවිල්ල කියනවා මෙන්න මේක පල්ලැහැට ගිහින් කියලා. එහෙම කියලා මේ ඇවිල්ල තියෙන ජූනි රිවීව් එකේදි IMF කියන්නෙ? ඔවුන් ආණ්ඩුවට බල කර සිටිනවා වහාම විදෙස් ප්‍රාග්ධනයෙන් ලැබිල තියෙන ආදායම් රටින් පිටතට ගෙනියද්දි අය කරන බදුවලින් නිදහස් කරන්න කියලා. මේ නිර්ලජ්ජිත කූඨ ව්‍යාපෘතිය කා වෙනුවෙන් ද ක්‍රියාත්මක කරන්නෙ කියන එක හරිම පැහැදිලියි. ජනතාව මත තියෙන සියලුම බදු ටික පටවලා ප්‍රාග්ධනය බදුවලින් නිදහස් කරල තියෙනවා. සජබ ප්‍රමුඛ හර්ෂ ද සිල්වා වගේ මිනිස්සු මේකට ආශිර්වාද කර කර කොහොමහරි මේක අපි කරගන්න ඕනි කියනවා. අපි අහනවා මේගොල්ලො නියෝජනය කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ උවමනාවන් ද නැති නම් දේශීය හා විදේශීය ප්‍රාග්ධන හිමියන්ගෙ උවමනාවන් ද කියලා.
තරිඳු උඩුවරගෙදර……..මේ ගොඩනැගෙන සංධානය ඓතිහාසිකයි. අපි සාමාන්‍ය වැඩකරන මිනිස්සුන්ගෙ පවුල්වල අය. අපි 2022 අරගලයට ආවෙ අපේ මිනිස්සුන්ගෙ අතට බලය ගන්න. ඔව් අපි බලය ගන්න ඕනි. මෙතෙක් කල් බලය හොබවපු අය මල් පෝ්ච්චි පෙරළගෙන දුවන්න සැලැස්සුවේ ආයෙ ඔවුන් බලයට පත් කරන්න නෙවෙයි. අපිට තියෙනවා අපේ රටේ, අපේ ලෝකෙ දේශපාලන ඉතිහාසය නැවත අලුතින් ගොඩනංවන අදහසක්. ලෝකය පුරා පැතිරිලා යන අදහසක්. අද බලශක්තිය, තාක්ෂණික ජයග්‍රහණ, කලාවෙ, සංස්කෘතියෙ අත්පත් කරගත් ජයග්‍රහණ සියල්ල පාවිච්චි කරන්නෙ එක පිරිසකගේ ලාබය වෙනුවෙන් විතරයි. ඔවුන්ට ලාභ හොයන්න අපිව, අපේ සම්පත්, අපේ උරුමයන් පාවිච්චි කරන මේ ක්‍රමයට එරෙහිව වැඩපිළිවෙලක් එක්ක, නව දැක්මක් එක්ක තමයි අපි ඉදිරිපත් වෙන්නෙ.
අපේ ජාතික ප්‍රශ්නය ගැන විශේෂයෙන්ම කතා කළ යුතුයි. මේකට උත්තර දෙන්න ඔක්කොම වැනි වැනී ඉද්දි අපි ඉදිරිපත් කරනවා ස්වයං පාලන වැඩපිළිවෙළක්. ඒ වගේම මේ රටේ ජන වර්ග හතරක අයිතීන් ගැන අපි කතා කරනවා. ජනතාව අතර ආර්ථිකයේ ප්‍රතිලාභ බෙදිලා යන, ජනතාව අතර දේශපාලනය හැසිරවීමේ බලය බෙදිල යන වැඩපිළිවෙළක් අපිට තියෙනවා. විද්‍යාවේ තාක්ෂණයේ නව වර්ධනයන් අත්පත් කරගනිමින් යන ගමනක්, වැඩපිළිවෙළක් අපිට තියෙනවා. ඒකත් එක්ක තමයි ජන අරගල සන්ධානය අද එලිදකින්නෙ.
වසන්ත මුදලිගේ………2022 ජන අරගලය ඉතිහාසයේ නොමැකෙන මං සලකුණක් තැබුවා. එය ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමේ ඉලක්කය කරා ගමන් කළත් ක්‍රම වෙනසක් පිලිබඳ සටන්පාඨය ජයග්‍රහණය කිරීම දක්වා ගෙන යන්න අසමත් වුණා. අරගලයේදී ජනතාව ඉල්ලා සිටි තවත් ඉල්ලීම් රැසක්, ක්‍රම වෙනසක් ඇතුළු ජනතා අභිලාශ රැසක් දිනා ගැනීමේ සටන තව දුරටත් ඉතිරිව තිබෙනවා. ක්‍රම වෙනසක් ලෙස ජනතාව බලාපොරොත්තු වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක්, මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ඉදිරි වර්ධනයක්, මේ ආර්ථික ක්‍රමයේ වෙනසක්. නමුත් රනිල් වික්‍රමසිංහ බලය අරගෙන කරන්නේ පැවතුනු ක්‍රමයම තව දුරටත් විනාශකාරී ලෙස ඉදිරියට ගෙනයන එක. ප්‍රජාතන්ත්‍රවාදය වගේ ක්ෂේත්‍ර වල තිබුණු තත්වයටත් වඩා නරක තත්වයක් හදන එක. රනිල් – රාජපක්ෂ ආණ්ඩුව අර්බුදය විසඳනවා කියමින් අර්බුදය උග්‍ර කරනවා. රනිල් බලයට එනවිට රටේ ණය ප්‍රමාණය තිබුණේ ඩොලර් බිලියන 84යි. දැන් ඒක ඩොලර් බිලියන 100ට වැඩි වෙලා. ඒ කියන්නේ මේ වසර දෙක ඇතුලේ රට තවත් වලපල්ලට යවලා. එහෙම තියෙද්දී මතයක් හදන්න හදනවා ආර්ථිකය යථා තත්වයට පත්වුණා කියලා. මුලින් කිව්වා රට වැල් පාලමෙන් එගොඩට අරන් යන්න පොඩි කාලයක් දෙන්න කියලා. අන්තිමට වෙලා තියෙන්නේ මොකක්ද? රනිලුයි, රාජපක්ෂලායි, ගජ මිතුරු ධන කුවේරයෝ ටිකයි, අදානිලා අම්බානිලා වගේ ගෝලීය ධනවතුන් ටිකයි එකතු වෙලා, අත් අල්ලාගෙන වැල් පාලමෙන් එගොඩ වෙනවා. ඒ රටේ ජනතාව වැල් පාලමෙන් ආගාධයට ඇද දමලා.
වාමාංශික දේශපාලන පක්ෂ ගණනාවක් සහ 2022 ජන අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරීන් ගණනාවක් එක්ව ගොඩ නැගූ ජන අරගල සන්ධානය නම් නව දේශපාලන සන්ධානය ජුනි 19 උදේ 10.00ට කොළඹ 07, විජේරාම මාවතේ, සිංහ සමාජ ශාලාවේදී එලිදැක්විණි. එහිදී අරගලයේ ක්‍රියාකාරී වසන්ත මුදලිගේ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ වී. මහේන්ද්‍රන්, නීතිඥ ස්වස්තිකා අරුල්ලිංගම්, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, ආචාර්‍ය කල්ප රාජපක්ෂ, සමාජවාදී ජනතා සංසදයේ ධර්මසිරි ලංකාපේලි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව, අරගල ක්‍රියාකාරී වීරේ වීරසිංහම්, ස්ත්‍රීවාදී සංවිධානයේ සුරේඛා සමරසේන, අරගල ක්‍රියාකාරී රාජ් කුමාර් රජීව්ඛාන්, ධීවර සංවිධාන එකමුතුවේ ජූඩ් නාමල්, පරිසර මධ්‍යස්ථානයේ වෑකඳවල රාහුල හිමි, නීතිඥ නුවන් බෝපගේ, ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ නිරෝෂා ගුරුගේ, ලහිරු වීරසේකර, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, වතු කම්කරු මධ්‍යස්ථානයේ මාක්ස් ප්‍රභාකර්, අරගල ක්‍රියාකාරිනී නූර් මොරීන්, ප්‍රදීපන් ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.




