සමගි ජන බලවේගයේ දැක්ම වන්නේ ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම බවත්, තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කිරීම, තොරතුරු තාක්ෂණ අපනයනවලට ඉඩක් ලබා දීම නව ව්‍යවසාය ලක්ෂ 10ක් නිර්මාණය කිරීම සිදු කරන බවත් තොරතුරු තාක්ෂණය යනු නව ව්‍යවසායකයන් බිහි කළ හැකි හොඳම ක්ෂේත්‍රයක් බවත් එවිට දේශපාලඥයන් පසුපස යාම අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ බංකොලොත් ශ්‍රී ලංකාවේ අප සිටිනා තැන මෙන්ම යා යුතු තැන අවබෝධ කර ගැනීමට පුරවැසියන් කටයුතු කළ යුතු බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ඇගලුම් කම්හල් ආරම්භ කරන විට ඒවා පුච්චා දැමූ පිරිසක් ද සිටි බවත් රටක් පුච්චා විනාශ කර ගොඩගත නොහැකි බවත් රටක් ගොඩනැගිය හැක්කේ ඉදිකිරීමෙන් නිර්මාණය කිරීමෙන් බවත් මේ යථාර්ථය ජනතාව අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 28) ඇඹිලිපිටිය කොළොන්න මොරකැටිය මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 268 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.
රටේ ඇති බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් අපනයන කේන්ද්‍රීය හා දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැංවිය යුතු බවත් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගනවා කියා වේදිකාවල කෑ ගහනවාට වඩා ඒ සඳහා හොදම ක්‍රමය වන්නේ පාසල් කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ මොහොතේ පවා රැකියා විරහිත උපාධිධාරින් 50000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ ඇති බවත් මේ උපාධිධාරීන් හමු වු අවස්ථාවේ ඔවුන් කියා සිටියේ ඔවුන්ට රැකියා දීමට පෞද්ගලික ආයතන පවා ප්‍රතික්ෂේප කර ඇති බවත් කවුරු කැමති වුවත් අකැමැති වුවත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට මුල පිරිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම බැබලෙන ශ්‍රී ලංකාවක්, ඩිජිටල් ශ්‍රී ලංකාවක්, ස්මාර්ට් ශ්‍රී ලංකාවක් ගොඩනගනවා කියා කයිවාරු ගහන අයට තොරතුරු තාක්ෂණ විෂය 1-13 විෂයක් කිරීමට නොහැකි වූ බවත් තවමත් ක්‍රියාත්මක වන්නේ 6-13 විෂයක් ලෙස බවත් මේ තත්ත්වයෙන් නම් ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය නොහැකි බවත් විදේශ රටවල පෙරපාසලේ සිටම තොරතුරු තාක්ෂණය උගන්වන බවත් සමගි ජන බලවේග රජයක් තුළ අදාළ මානව හා භෞතික සම්පත් සහිතව තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අනිවාර්ය විෂයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 268ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2920 ක් වැය කර තිබේ. මේ වැඩසටහන් තුළින් සමස්ත පාසල් 356කට අගයක් එකතු කර තිබේ.