21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්ජෝති කලාකරුවකු ලෙස තම රසික ජනතාවට දැක්වු මානව හිතවාදි කම නිසා අදටත්...

ජෝති කලාකරුවකු ලෙස තම රසික ජනතාවට දැක්වු මානව හිතවාදි කම නිසා අදටත් ජනප්‍රියතම ගායකයා එච්.ආර්.පෝතිපාල බව – ජයනන්දන මහතා පවසයි.

ජෝතිමත් ගියක එච්.ආර්.ජෝතිපාලයන්ගේ තිස්හත්වන ගුණ සමරුව වෙනුවෙන් සදාදරණීය ජෝති සමග සමීප ඇසුරක් පවත්වමින් ඔහුගේ කැසට් වැඩි ප්‍රමාණයක් වගේ ගීත රැසක් සංරක්ෂණය කරමින් ඉදිරි චිත්‍රපට සඳහාත් මේ ගායන ශිල්පියාගේ ගීත නොමිලේ ලබාදීමේ සේවාවක්ද කරමින් සිටින ජයනන්දන රෙකෝඩ්බාර් අධිපති ඩබ්ලිව්.ජේ.ද අල්විස් මහතා සමග සිදුකෙරෙන සුහද කතා බහකී මේ.

මෙම ගායන ශිල්පියා අප අතරින් වෙන්වී වසර තිස් හතක් කාලය ගතවෙලත් මෙතරම් ඔහුවටා තිබෙන ජනප්‍රියත්වයේ රහස මොකක්ද?
ඇත්තෙන්ම ජෝතිපාල මහත්තයා ගැන මුලින්ම කියනවානම් ආයේ කිසිම විවාදයක් අදටත් ජනප්‍රියතම ගායකයා එච්.ආර්.පෝතිපාලයි. ඒකට ඒ මහතාට හොඳ ගීපද රචනා වගේම දක්ෂ සංගීතඥයින් සමග කටයුතු කරන්න හැකියාව ලැබුණා ඒ නිසා නිර්මාණශීලි ගීපද රචනා ඔහුට ලැබුණා කරුණාරත්ක අබේසේකර , හර්බට් ඇම්.සෙනෙවිරත්න, ඇලෝයි ගුණවර්ධන ඇතුළු තව කිහිප දෙනකුම සිටි අතර සංගීතඥයින් ලෙස සරත් දසනායක, ප්‍රේමසිරි කේමදාස,සරත්ද අල්විස්,ස්ටැන්ලි පීරිස් චිත්‍රපට සඳහා වැඩිවශයෙන් අවස්ථාද ලැබුණා. අජන්තා රණසිංහ වැනි ගීත රචකයින්ද අමතක කරන් බැහැ. ඒ මහතා මුලින්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ගීත ගායනවා කළා. ඒවා එදා ඇහුණේ පුංචි ස්පීකර්වලින් ජෝතිපාල මහතාගේ ගීත සිනමාපටවලදි ලොකු ස්ක්‍රින් මත රංඟන ශිල්පීන් රඟ දක්වන ජෝති හඬ රසික ජනතාවගේ දෙසවන්වල දෝංකාර දෙමින් රැව් දුන්නා.

ඒ රංඟන ශිල්පීන් ලෙස ගාමිණි ෆොන්සේකා , විජය කුමාරතුංඟ, රවීන්ද්‍ර රන්දෙණිය, තිස්ස විජේසුරේන්ද්‍ර පසුව නවකයින් ලෙස ශෂි විජේන්ද්‍ර වැනි අයටත් ගීත ගායනා කළා. බොක්ස් ඔෆිස් වාර් තා තිබ්බ ගායකයෙක් . මේ ජනප්‍රියත්වය අඩු නොවෙන්න තවත් ප්‍රධානතම කරුණක් තමයි ඔහුවට වැඩියෙන්ම වටින්නේ ගීත අසන ශ්‍රාවකයායි. ඔවුනුත් සමග කතා බහ කිරීමට නිතරම ඔහු සැදිපැහැදි සිටියා. සමීප සබඳතා ගොඩ නගා ගත්තා සහෝදරාත්මක ආමන්ත්‍රණය නිතරම කටේ තිබුණා ඕනෑම අයකුට ලොකු පොඩි නෑ ආ මල්ලි කොහොමද කියලා අහනවා.

ඔබ මුලින්ම ජෝතිපාල මහතාව හමුවන්නේ කොහොමද? මට ඒ මහත්තයාව හමුවෙන්නේ 1967දීයි. මම ශ්‍රී සුචරිත දහම් පාසැලේ ඉගෙනුම ලබන කාලයේයි. මම එතකොට පොඩි දරුවෙක් කරුණාරත්න අබේසේකරයන් සමග තමයි ඒ මහතා එම ස්ථානයට පැමිණියේ. එදා මම කොහොමවත් හිතුවේ ජෝතිපාල මහතා මගේ ජීවිතයට සම්බන්ධවෙයි කියලා. එතුමාගේ සද්ධන්ත දැවැන්ත පෞර්ෂත්වයට මගේ මතකයේ රැඳුනා.

ඔබ සමග සම්බන්ධවීම කොහොමද සිදුවන්නේ? මගේ සෑම වැදගත් සිද්ධියකට වගේම ඔහු සම්බන්ධවුණා. මගේ විවාහ මංගල්‍ය අවස්ථාවේදී ගීත ගායනා කළා. මගේ පියා අප අතරින් වෙනවූ අවස්ථාවේදී මට එම පණිවුඩය ලබාදුන්නේ ජොති හා ලතා වල්පොලයි.පසුව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මේ බව දැනුම් දුන්නේ ඒ අයමයි එතරම් ජොති මගේ ජීවිතයට සම්බන්ධයි. එයාට ඉඩම ලැබුණු අවස්ථාවේදීත් මට ඇවිල්ලා කිව්වා. උතුම් පුදුම ගතිගුණ තිබුණු ගායකයෙක්. ජෝතිපාලයන් කැසට්පටයක් නිර්මාණය කළාම මගේ කිසිම දිනක එකවර මුදල් ගත්තේ නෑ. එහාට අවශ්‍ය වියදම් එනවිට පැමිණ අවස්ථානුකූලව තමයි ගත්තේ.

ඔහුගේ හොඳ ගතිගුණ පිළිබඳ සිද්ධියක් සිහිපත් කළ හැකිද?
මගේ මෙම ස්ථානය ඉදිරියේ තිබෙනවා කුමාර වීදියේ තිබුණා බාටා වෙළෙඳසැලක් තිබුණා එහි හිමිකරුවූයේ එස්.පී. සාමි ඔහු තමයි සුසි, සැලි වගේ චිත්‍රපට නිෂ්පාදනය කළේ. එම ස්ථානයේ කළමනාකරු ලෙස කටයුතු කළේ සිරිල් පී. අබේරත්න. පසුව මම කිව්වා ජොති අයියාගේ යහළුවෙක් නේද ගිහිල්ලා හමුවෙන්න කියලා. ඒ සමගම සිරිල් පී. අබේරත්න මහතා ඉදිරියට එනවා අපි දැක්කා ජෝති අයියා විගහට ඒ මහතා ඉදිරියට ගොස් වැන්ඳා මට අදවගේ මතකයි. ඒවගේ කෘත ගුණ දන්න අයෙක්. මන්ද සිරිල් පී. අබේරත්න මහතාගේ 1955දී නිෂ්පාදනයවු සුරතලී චිත්‍රපටයට සිරියාමේ සාරා ගීතය ගායනා කරලා තමයි ජෝති අයියා සිනමාපට ගීත ගායනය ආරම්භ කළේ. මේ වනවිට අවසානයට ජෝතිගේ ගීතයක් අපට හමුවෙන්නේ සරත් දික්කුඹුරගේ මරුකතර චිත්‍රපටයේයි එය මේ වසරේ තිරගතවෙනවා.

කැසට් යුගය ආරම්භ වන්නේ කොහොමද?
මුලින් තිබුණේ රෙකොඩ්ස් 1978දී තමයි කැසට් යුගය ආරම්භවෙන්නේ. ඒ සඳහා පුරෝගාමීන්වු තරංගා රෙකෝඩ් බාර් අධිපති විජය රාමනායක, විසාකාමාල්ස් අධිපති විජයපාල හෙට්ටිආරච්චි ,ශාන් රෙකෝඩ් බාර් ෂන්මුගනාදන්, සරස්වතී ස්ටෝර්ස් ඒ අය නිපදවන කැසට් අලෙවි කරන්න තමයි මම මේ ස්ථානය ආරම්භ කළේ. ජෝති අයියගේ මිත්‍රයෙක් හිටියා මාළු කඩේ ජෝකින් මුදලාලි කියලා ජේ.ජේ. එන්ටර්ප්‍රයිසස් ජෝතිගේ කැසට් එකක් නිර්මාණය කළා එහි ප්‍රධාන අලෙවිකරුවා මමයි. ඊට මටත් හිතුණා කැසට් එකක් කරන්න මම සිංගප්පූරුවේ ගිහිල්ලා මොහිදීන් බෙග් කැසට් එකක් කළ විගස වගේම ජෝති අයියගේ කළා කිරි ඉතිරේවා අංක එකේ සිට හය දක්වා නිෂ්පාදනය කෙරුවා. ජෝති බැති ගී කැසට් නිෂ්පාදනය කළා. ඒ නිහතමානි මනුස්සයා සමග ඇති කරගත් සම්බන්ධතාවය දිගටම පැවතුණා පුදුම නිහතමානි කමක් තිබෙන්නේ.

ජෝති කියන්නේ මහා ඖෂධරාජයෙක්…..

ඔබ ළඟට එන්නේම ජෝතිපාලයන් ගීත ලබාගන්නයි එය අදටත් එහෙමයි කිසිම අඩුවක් නෑනේද ? ඇත්තෙන්ම ඔව්. ළඟදි එක්තරා කාන්තාව ඇවිත් මගෙන් ඉල්ලුවා ඖෂධරාජයා දෙන්න කියලා මම කිව්වා අපි බෙහෙත් විකුණන්නේ නෑ කියලා එවිට කිව්වා නෑ නෑ අර ඡායාරූපයේ සිටින එක්කෙනා එයා තමයි ඖෂධරාජයා කියලා මට ජෝති අයියාගේ පිංතූරයක් පෙන්නුවා. ඒ නෝනගේ මහත්තයා අසනීපයෙන් සිටින අයෙක්. ඒ මහත්තයා අහන්නේ සියලු ගීත ජොතිගේ ගීතයි.එවිට මට තේරුණේ ජෝතිපාලයන්ව හඳුන්වනවා ඖෂධරාජයෙක් ලෙසත් දහස් ගණන් ලක්ෂ ගණන් මිනිසුන්ගේ සිත් සුවපත් කළ අවංක ගායකයෙක්. ඇත්තෙන්ම ජෝතිගේ ගීත ඖෂධ තමයි. අනෙකුත් කිසිදු ගායකයෙක්ව මම පහත් කරන්නේ සියලු දෙනාම දක්ෂයි. නමුත් මේ අපූරුතම මනුස්සයාගේ හඬ මිනිසුන්ගේ සිත් තුළ කාවැඳුනා වගේ එයත් මිනිසුන් හදවතින්ම ළංවුණා. ජෝති කියල නමේ අර්ථය බැලුවාම දීප්තිය, ප්‍රභාවයයි. ඊටම ගැලපෙන ආකාරය ගතිගුණ හරි උසස් . ජෝති අයියට කොපමණ දුක්කම්කටළු තිබෙන අවස්ථාවක වුණත් කව්රු හරි ඇවිල්ලා දුක කියපු ගමන් කිසිදු දෙයක් අහන්නේ නෑ අතේ තිබෙන මුදල තමන්ගේ ගැටලු පැත්තකට දමා අර දුක කියාගෙන පැමිණි මනුස්සයාට දෙනවා. මෙතුමා සැබෑ ජනතාවාදි ගායකයෙක්. දේශපාලඥයින්ට කරන්න නොහැකි දේවල් ජොති ඉටුකළා.

ජෝති රාත්‍රිය ආරම්භ කළේ රෝයි මෙලොනියන්ස් මහතා රත්නපුරයෙන්. ටවර් රඟහලේ ජෝති රාත්‍රිය තමයි ජනප්‍රිය වුණේ මරදාන සිනමාපුරයක් වුණත් ජෝති රාත්‍රිය තිබෙන දාට මිනිස්සු සියලු දෙනා යන්නේ ටවර් රඟහලට ජෝති රාත්‍රිය බලන්න සෑමදාම හවුස්ෆුල්. එතැන ගාමිණි, විජය රඟපාන ගීත සියල්ලම තිබෙනවා. මේ ජෝතිමත් ගායකයා අපිට කිසිදා අමතක වෙන්නෙත් කරන්නත් බෑ ඕනෑම පිරිමි පෞර්ෂය වැඩි කරන්න ඔහුගේ හඬ භාවිතා කෙරෙනවා. අපේ විකට රජා ප්‍රෙඩි සිල්වාට පවා කටහඩදී තිබෙනවා. විජය කුමාරතුංඟ මේ ගැන කිව්වා මටත් වැඩිය මගේ හඩගැන ජෝති දැන සිටියා කියලා. පසුව ජෝති නැති විජය ඔහු රඟපානවිට ඔහුගේ ගීත ඔහුම ගායනා කළා.

ජෝති අයියා දූලා හතර දෙනකුගේ පියෙක්, මේ ළඟදී තමයි ජෝතිපාලයන්ගේ ආදරණීය බිරිඳ අප අතරින් වෙන්වුණේ. සහෝදරයින්ටත් හොඳින් සැළකුවා.

තවත් මට සිහිපත් එක්තරා මැයි දිනයකදී මොහොමඩ් රාෆි ජෝති අයියට කිව්වේ උඹ ඉපදෙන්න තිබුණේ ඉන්දියාවේයි. උඹට ලංකාව පොඩි වැඩියි කියලයි. එවැනි සුවිශේෂි ඇගයීම්වලට ලක්වුණා ඒ කෙසේ වෙතත් ඔහුගේ නිහතමානිකම එලෙසමයි.

ආදරණීය ජොතිපාලයන් අප අතරින් වෙන්වු වසරේ සිට පුරා තිස්හත්වසරක් අපි වියළි ආහාර බෙදා දෙනවා. මේ වසරේත් ඒ ආකාරයටම කෙරෙනවා. එමෙන්ම ආදරණීය ජෝතිගේ තවත් ගීත මාළඟ තිබෙනවා. මම එම ගීත ඉදිරයේදී නිර්මාණය වන හොඳ චිත්‍රපට සඳහා ගැලපෙන පරිදි නොමිළේ ලබාදෙනවා. සරත් දික්කුඹුරගේ මරුකතරටත් මේ ආකාරයට මම ගීතයක් නොමිළේ ලබාදුන්නා. ආදරණීය ජෝති සදාකාලිකව අපේ ගීත අම්බරේ රැඳි සිටිනවා

සටහන- අනුර ප්‍රේමලාල්
ඡායාරුප- තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments