සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරඟයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ (07) පැවැති මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ලබාදුන් ලකුණු 249ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.1කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.
ඒ අනුව තරඟ තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරඟය ලකුණු සමව අවසන් වුවත්, ඉතිරි තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරඟාවලි ජය සැලකෙන්නේ, ඔවුන් ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරඟාවලි ජය ලෙසය.
මීට පෙර ඔවුන් එක්දින තරඟාවලියකදී ඉන්දීය කණ්ඩායම පරාජය කර තිබුණේ 1997 වසරේදී වූ අතර, එවර ඔවුන් තරඟ 3-0කින් ඉන්දියාව පරාජය කර තිබුණි.
මෙම තරඟායේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් ලකුණු 27කට කඩුලු 05ක් ලබාගැනීමට සමත් විය.
මෙය ඔහු එක්දින තරඟයකදී බිඳ දැමූ දෙවැනි කඩුලු 05 අවස්ථාවද වෙයි.
මෙහිදී ඉන්දීය පරාජයේ අවමානය යම් තරමකින් හෝ අඩුවූයේ නායක රෝහිත් ශර්මා (35), වොෂින්ටන් සුන්දර් (30) හා විරාට් කෝලි (20) ගොඩනැගූ ඉනිම් හේතුවෙනි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 248ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙසින් දැවී ගියේය.
ඒ හේතුවෙන් ඔහුට ලකුණු 04කින් එක්දින දිවියේ 04වැනි ශතකය අහිමි විය.