21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා රේගුවෙන් විජිත හේරත්ගේ මාධ්‍ය ලේකම්ගේ නිවේදනයට පැහැදිලි කිරීිමක්….

ශ්‍රී ලංකා රේගුවෙන් විජිත හේරත්ගේ මාධ්‍ය ලේකම්ගේ නිවේදනයට පැහැදිලි කිරීිමක්….

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් පරිශ්‍රයේ ගැටලු සොයා බැලීමට හදිසි නිරීක්ෂණ චාරිකාවක යන කරුණට අදාලව එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් විසින් නිකුත් කරන ලද 2024.11.08 දිනැති මාධ්‍ය නිවේදනය හා සබැඳේ.

එම නිවේදනයේ සඳහන් , බහලුම් වරායෙන් නිෂ්කාශනය කිරීමේදී සිදුවන ප්‍රමාදය, ස්කෑන් යන්ත්‍ර ක්‍රියා කරවීමේ අඩුපාඩු, භාණ්ඩ පරීක්ෂාව සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලියේ අඩුපාඩු හා රේගු නිලධාරීන්ගේ දූෂණ හා අකාර්යක්ෂමතාවය යන ශ්‍රී ලංකා රේගුවට අදාළ කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් පහතින් දක්වා ඇත.
සාමාන්‍යයෙන් කොළඹ වරායෙන් දිනකට බහලූම් 1500ක් පමණ නිස්කාශනය වන අතර එය දිනකට 2500ක් දක්වා වැඩිවන අවස්ථාද ඇත. මෙම බහලුම් වලින් රේගු පරීක්ෂාවට ලක්වන්නේ සියයට 35 ක් පමණ වන අතර ඉතිරි සියලු බහලුම් රේගු පරීක්ෂාවකින් තොරව පැය කීපයක් ඇතුළත නිදහස් කෙරේ.

ශ්‍රී ලංකා රේගුවේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ බදු ආදායම එක් රැස්කිරීමයි. එය පසුගිය වසරේ රුපියල් බිලියන 975 ක් වූ අතර මේ වසරේදී රුපියල් බිලියන 1533ක දැවැන්ත ඉලක්කයක් කරා රේගුව ගමන් කරයි. එයින් රුපියල් බිලියන 1200 ක් ඉක්මවා දැනට උපයාගෙන ඇත. මෙම ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඉහළ අවදානමක් ඇති බහලුම් පරීක්ෂාවට ලක් කළ යුතුවේ.

ශ්‍රී ලංකා රේගුව විසින් භෞතික පරීක්ෂාව සඳහා බහලුම් තෝරා ගනු ලබන්නේ අවදානම් කළමනාකරණ මූලධර්ම මත පදනම්ව ඉහළ අවධානමක් ඇති බහලුම් වන අතර මෙම පරීක්ෂාවන් නිසා පසුගිය වසරේදී රුපියල් බිලියන 15 ක පමණ අමතර ආදායමක් උපයා ගෙන ඇත. පරීක්ෂා කරන බහලුම් වලින් සියයට 65% ක් 70% ක් අතර ප්‍රමාණයකින් යම්කිසි රේගු වරදක් සොයා ගැනේ. ඊට අමතරව අය කරගත යුතු බදු සුරක්ෂිත වීමද රේගු වරදවලට පෙලඹවීම්ද මෙමගින් අවම කෙරේ.

එමෙන්ම, භාණ්ඩවල ප්‍රමිතිය, ආහාරවල සුරක්ෂිතතාවය, ශාක නිරෝධායනය, සත්ව නිරෝධායනය වැනි කරුණු මත අදාල රාජ්‍ය ආයතනයන්හි පරික්ෂාව සඳහාද බහලුම් ප්‍රමාණයක් යොමු කෙරේ.

බහලුම් පරික්ෂාව රේගුව විසින් සිදු කරනු ලබන්නේ පරීක්ෂණ අංගන තුනක වේ. ඒවා ග්‍රේලයින් 1 ග්‍රේලයින් 2 සහ RCT යන අංගනයි. මෙම අංගන තුනේ සමස්ත ධාරිතාවය බහලුම් 360 කි. මෙම ධාරිතාවය දැනට පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන බහලුම් ප්‍රමාණය සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මෙම කරුණ නිසාම පරීක්ෂාවට ලක් කළ යුතු බහලුම් යම් ප්‍රමාණයක් පරීක්ෂා නොකර නිදහස් කිරීමට සිදුවීම නිසා දැඩි අවධානමක් ගැනීමට රේගුවට සිදුවී ඇත.

කෙසේ වෙතත්, ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු බහලුම් RCT අංගනය හරහා එක් දිනක් තුළ නිදහස් කරේ. RCT අංගනය අලුයම හතර පමණ වනතෙක් විවෘතව තැබෙන අතර සතියේ දින හත පුරාම විවෘතව පවතී. එම නිසා අතිරේක ගාස්තු ගෙවීමක් මත භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදු වීමට ඉඩක් නොපවතී.

වරායෙන් පිට වීමේ දොරටු කිහිපයක් තිබුණත් බහලුම් පිට කිරීම සඳහා NCT දොරටුව පමණක් පාවිච්චි කිරීමට සිදුව ඇත. ඒ කොළඹ නගරයේ රථවාහන තදබදය වළක්වා ගැනීමට අවශ්‍ය නිසාය. එසේම බහලුම් පරීක්ෂණ අංගනවල ඉඩ ලැබෙන තෙක් ඒවා වරාය තුළ රඳවා ගැනීමට දැනට කටයුතු කරන අතර එසේ කරනු ලබන්නේ බහලුම් ප්‍රවාහන රියදුරන්ගේ ඉල්ලීමකට හා ප්‍රධාන මාර්ගවල රථ වහන තදබදය අඩු කිරීම සඳහාය. දිනකට බහලුම් 1500 සිට 2500 දක්වා ප්‍රමාණයක් NCT දොරටුවෙන් පිට කිරීමේදී අනිවාර්යයෙන්ම තදබදයක් ඇතිවීම වැළැක්විය නොහැක.

දැනට ක්‍රියාත්මක කරන බහලුම් පරීක්ෂණ අංගනවල ඇති ඉඩකඩ අවම නිසා අවශ්‍ය ප්‍රමාණයට පහසුකම් සහිත නව බහලුම් පරීක්ෂණ අංගනයක් ඉදි කළ යුතු බවට රේගුව විසින් රජයට මීට පෙර යෝජනා කර ඇත. 2020 වසරේදී රේගුවේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව මගින් පිළියෙල කරන ලද සක්‍යතා වාර්තාවකින් කෙරවලවල පිටියේ තවත් අංගනක් ඉදිකිරීමට යෝජනා කළත් තවමත් එය ක්‍රියාත්මක වූයේ නැත. කාලීනව ඉහලයන ධාරිතාවයට ගැලපෙන ලෙස පහසුකම් යාවත්කාලීන නොවීම ප්‍රශස්ථ සේවාවක් සැපයීමට බරපතල බාධාවක්ව පවතී.

කොළඹ වරාය තුළ ස්ථාපනය කර ඇති පරිලෝකන පද්ධතිය හරහා දිනකට බහලුම් හත්සීයක් පමණ පරික්ෂාවට ලක් කෙරේ. මෙයින් පැය 24 පුරාම සේවය සලසන නමුත් එම යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ ඉඩකඩ සීමාවීම නිසා ප්‍රශස්ත මට්ටමේ සේවාවක් ලබාදීමට බාධා පවතී.

රේගු නිලධාරීන්ට එරෙහිව සිදුවන වංචා හා දූෂණවලට අදාළ පැමිණිලි විභාග කර දඬුවම් ලබාදීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකකය නමින් නව ඒකකයක් 2024 අගෝස්තු මස රේගුව තුල ආරම්භ කරන ලද අතර එම ඒකකය සාර්ථකව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී. මහජනතාවට සිය පැමිණිලි සෘජුවම එම ඒකකයට ලබා දිය හැක.

ඉහත දක්වා ඇති කරුණු පවතින තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වුණු ඇති බවට විශ්වාස කරමු.

සීවලී අරුක්ගොඩ
අතිරේක අධ්‍යක්ශ ජනරාල්
‍රේගු මාධ්‍ය ප්‍රකාශක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments