22.8 C
Sri Lanka
Friday, October 3, 2025
Homeදේශීය පුවත්දසවන ලෝක ආයුර්වේද දිනය කොළඹ දී අභිමානවත්ව සමරයි.

දසවන ලෝක ආයුර්වේද දිනය කොළඹ දී අභිමානවත්ව සමරයි.


ආයුර්වේදය ඒකාබද්ධ කර මෙරට විශ්වීය සෞඛ්‍ය ආවරණය සාක්ෂාත් කර ගැනීමට නව්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
ලෝක ආයුර්වේද දිනය ඊයේ (23) යෙදී තිබුණි. ඒ වෙනුවෙන් පැවැත්වූ විශේෂ සැමරුම් උත්සවය ඊයේ පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
10වන වරට පැවැත්වූ ලෝක ආයුර්වේද දින සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කර තිබිණ.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දී අදහස් දක්වමින්, ආයුර්වේදය ලොව පැරණිතම සහ වඩාත් පුළුල් සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවලින් එකක් බව පැවසූ අමාත්‍යවරයා වසර දහස් ගණනකට පෙර ඉන්දියානු මහද්වීපයේ ආරම්භ වූ බවත්, එය දර්ශණය, සංස්කෘතිය සහ සෞඛ්‍යය සඳහා ස්වභාවධර්මයට හිතකර, පරිපූර්ණ ප්‍රවේශයක ශක්තිමත් පදනමක් මත ගොඩනගා ගෙන ඇති බව පැවසී ය. කල්යත්ම එය ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවලට ව්‍යාප්ත වූ බවත්, එහි දී ආයුර්වේද වෛද්‍ය කර්මය අපගේම වෛද්‍ය සම්ප්‍රදායන් සමග තවදුරටත් පරිණාමය වී පොහොසත් වූ බව අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකාවේ ආයුර්වේදය මෙරට දේශිය චිකිත්සා සමඟ ගැඹුරින් බැඳී ඇති බවත්, මෙරට ජාතියේ දේශීය වෛද්‍ය උරුමය. 1961 අංක 31 දරන ආයුර්වේද පනත මඟින් එම ක්‍රමය සංවර්ධනය කිරීම සහ වෘත්තිකයන්, නිෂ්පාදන සහ භාවිතයන් නියාමනය කිරීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් සපයන බවද පැවසී ය.
වර්ථමානය වන විට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුව, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය බලධාරීන් සහ පර්යේෂණ හා පුහුණු ආයතන අපගේ ආයුර්වේද වෛද්‍ය කර්මය තවදුරටත් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ද අවධාරණය කර සිටියේ ය.

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ඡා මහතා ද උත්සව සභාව ඇමතූ අතර මෙහි ප්‍රධාන දේශණය මහාචාර්ය ආර්.එස්. ජයවර්ධන මහතා විසින් පවත්වන ලදී.
ආයුර්වේදය යනු ආයුෂ පිළිබඳ වේදයයි. ආයුෂ යනු දීර්ඝ ජීවිතය, ජීවන, චිර ජීවන යන අර්ථ දක්වයි. වේදය යනු අයහපත් දෙය ඉවත් කර යහපත් දෙය වැළඳගැනීමට වුවමනා වන දැනුම දෙන උතුම් උපදෙස් පරපුරයි. එනම් ආයුර්වේදය යනු දිගුකලක් ජීවත් වීමට ඉවහල් වන උසස් උපදෙස් මාලාවයි.
ලෝක ආයුර්වේද දිනය වාර්ෂිකව සමරනුයේ ස්වාභාවික සුව කිරීම සහ සමස්ත යහපැවැත්ම මත පදනම් වූ පුරාණ වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේදයේ අකාලික ප්‍රඥාව ප්‍රවර්ධනය කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා ය. 2016 වර්ෂයේ දී ඉන්දීය රජය විසින් ආරම්භ කරන ලද මෙම ගෝලීය සැමරුම, ආයුර්වේදයේ සහ සෞඛ්‍යයේ ශුද්ධ දෙවියන්වන ධන්වන්තරි දෙවියන්ට කැප වූ දිනයක් ලෙස සලකනු ලබයි. මෙම දිනයේ අරමුණ වන්නේ ආයුර්වේදයේ මූලධර්ම සහ රෝග වැළැක්වීමේ සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ එහි විභවය පිළිබඳව ගෝලීය දැනුවත්භාවය ඇති කිරීමයි.
මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් සමන්ති රණසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් ශම්මි දෙනාවත්ත, කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය පතිරගේ කමල් පෙරේරා, බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ.පී.පී. පීරිස්, යන මහත්ම මහත්මීන් ඇතුළුව ආයුර්වේද ක්ෂේත්‍රයේ විද්වතුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ආයුර්වේද විශේෂඥ වෛදවරුන්, වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන් ඇතුළුව පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments