විශිෂ්ට ජයක් සනිටුහන් කරමින්, ශෆාලි වර්මා අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී දැක්වූ අතිවිශිෂ්ට දක්ෂතාවය හේතුවෙන් ඉන්දියාව සිය මංගල ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය. පිළිමළුන් පිටුදැකීමේ වටයට පෙර අනපේක්ෂිත ලෙස ඉන්දීය සංචිතයට එක්වූ වර්මා, අවසන් තරගයේදී ලකුණු 87ක් රැස් කරමින් සිය ඉහළම එක්දින ලකුණ වාර්තා කළාය. අනතුරුව පන්දුවෙන්ද දස්කම් දක්වමින් ඇය කඩුලු ද දවා ගනිමින් තරඟයේ ගමන් මග ඉන්දියාව දෙසට හැරවීමට දායක වූවාය. වර්මාට අමතරව, තරගාවලියේ වීරවරිය බවට පත් වූ දීප්ති ෂර්මා ද තුන් ඉරියව් දස්කම් දක්වමින් ඉන්දීය ජයග්‍රහණයට සුවිසල් දායකත්වයක් සැපයීය. ලෝරා වොල්වාර්ඩ්ට්ගේ වීරෝදාර පිතිහරඹය නොතකා, කාන්තා අයි.සී.සී. තරඟාවලි ඉතිහාසයේ පිට පිට තෙවැනි වරටත් අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට දකුණු අප්‍රිකාවට සිදු වූ අතර, ඉන්දියාව ලකුණු 52ක ජයක් වාර්තා කරමින් සිය කුලළුඳුල් ලෝක කුසලානය ජයග්‍රහණය කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව, කිසිදු ක්‍රීඩිකාවකගේ ශතකයක් නොමැතිව සිය තෙවැනි ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙස කඩුලු 7කට ලකුණු 298ක් රැස් කළේය. වර්ෂාව හේතුවෙන් තරගය පැය කිහිපයකින් ප්‍රමාද වී ආරම්භ වූ අතර, මුල් පන්දුවාර කිහිපයේදී පන්දුවට පහර දීම දුෂ්කර වනු ඇතැයි පොදු මතයක් පැවතිණ. එහෙත්, ඊට හාත්පසින්ම වෙනස් ප්‍රවේශයක් ගත් ශෆාලි වර්මා, පන්දුවේ දෝලනය මැඩ පැවැත්වීම සඳහා කඩුල්ලෙන් ඉදිරියට පැන පහර දෙමින් ධනාත්මක ස්පර්ශයක සිටින බව පෙන්නුම් කළාය. මෙම ජවසම්පන්න ආරම්භක පිතිකාරිනිය නිතිපතා හතරේ පහරවල් එල්ල කළ අතර, ස්ම්‍රිති මන්දනා ද අයාබොංගා කාකාගේ පන්දුවාරයකට හතරේ පහර දෙකක් එල්ල කරමින් ඊට එක් විය. සත්කාරක ක්‍රීඩාංගණය පිරී සිටි ප්‍රේක්ෂකයින් ප්‍රීති ඝෝෂා නංවද්දී, ඉන්දියාව පළමු පන්දුවාර හය තුළ කිසිවකු නොදැවී ලකුණු 45ක් ලබා ගනිමින් වේගවත් ආරම්භයක් ලබා ගත්තේය.




