ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලයෙහි ක්‍රියාකරු වන ලංකාපේ ආයතනය – ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙල වන ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙල (LankaPay Technnovation Awards) අට වන වතාවටත් සංවිධානය කරන බව 2026 පෙබරවාරි (25) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුකදී පැවසීය.
මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් දිනාගෙන ඇති මෙම සම්මාන උළෙල මෙවරත් ආරම්භ වූයේ ‘වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් විසඳුම’ සඳහා වන ඔන්ලයින් මත විමසුමත් සමඟිනි. අවසාන සම්මාන රාත්‍රිය 2026 මාර්තු මස 24 වන දින කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවැත්වීමට නියමිතය. අවසන් මහා සම්මාන උළෙල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහි අනෙකුත් ගරු ආරාධිත අමුත්තන් ලෙස ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු වරුණ වීරරත්න මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහභාගීවීමට බව අනාවරණය කෙරිණි.
අඛණ්ඩව දෙවන වසරටත් හවුල්කාරිත්වය සනිටුහන් කරන Mastercard සහ ගිය වසරේ ප්ලැටිනම් අනුග්‍රාහකයෙකු වූ BPC ආයතනය මෙවර සම්මාන උළෙලේ උපායමාර්ගික හවුල්කරුවන් ලෙස සම්බන්ධ වේ. ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස UnionPay ඉන්ටර්නැෂනල් ආයතනය සහ NOVUS Technologies ආයතනය කටයුතු කරන අතර, මෙය UnionPay ඉන්ටර්නැෂනල් ආයතනය මෙම සම්මාන උළෙල සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන සිව්වන අවස්ථාව වේ. ස්වර්ණ අනුග්‍රාහකයා ලෙස Alipay+, අඛණ්ඩව තුන්වන වසරටත් හවුල්කාරිත්වය සනිටුහන් කරයි. රජත අනුග්‍රාහකත්වය JCB ඉන්ටර්නැෂනල් ආයතනය සහ සිංගප්පූරුවේ NETS සමාගම විසින් සලසනු ලැබේ. JCB ඉන්ටර්නැෂනල් ආයතනය ආරම්භයේ සිටම අනුග්‍රාහකයෙකු ලෙස මෙම සම්මාන උළෙල හා හවුල් වී සිටින අතර NETS සිංගප්පූරු සමාගම මෙලෙස අනුග්‍රාහකත්වය දක්වන පස්වන අවස්ථාව මෙය වේ. Rolling & Action ආයතනය නිල නිර්මාණාත්මක සහකරු සහ Daily Mirror, Daily FT, Sunday Times, ADA Derana BIZ, FM දෙරණ සහ TV දෙරණ නිල මාධ්‍ය අනුග්‍රහය දක්වයි.
2017 දී ආරම්භ කරන ලද ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ තාක්ෂණික නවෝත්පාදනවල පුරෝගාමීන් ඇගයීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙලයි. ඩිජිටල් ගෙවීම් ප්‍රවරධනය කිරීමේ අරමුණින් රට තුළ ඩිජිටල් ගෙවීම් ක්‍රම ප්‍රචලිත කිරීම උදෙසා නොසැලෙන දායකත්වයක් ලබාදෙන සහ ඒ හරහා පාරිභෝගික පහසුව ඉහළ නැංවීමට මූලිකත්වය ගත් බැංකු, මූල්‍ය ආයතන, FinTech ආයතන සහ රාජ්‍ය ආයතන ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණයි.
2026 සඳහා වන සම්මාන නිර්ණායකය ලෙස 2025 ජනවාරි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ අන්තර් බැංකු ගනුදෙනු සලකා බලයි. බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන, FinTech සේවා සපයන්නන් සහ රාජ්‍ය ආයතන සම්මාන කාණ්ඩ 12 ක් යටතේ තරග වදිනු ඇත. මෙම කාණ්ඩ අතරට 2025 වසරේ ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය සඳහා සමස්ත සම්මානය, පාරිභෝගික පහසුව අතින් විශිෂ්ටතම මූල්‍ය ආයතනය, මූල්‍ය ඇතුළත්භාවය සඳහා හොඳම මූල්‍ය ආයතනය, නවෝත්කරණයන් අතින් විශිෂ්ටතම මූල්‍ය ආයතනය, වඩාත් ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් විසඳුම, සිල්ලර ගෙවීම් සඳහා හොඳම ඩිජිටල් ගෙවීම් යෙදුම, දේශීය ගනුදෙනු සඳහා හොඳම සක්‍රිය කරන්නා, හොඳම රාජ්‍ය ආයතනය වෙත ඩිජිටල් ගෙවීම් සක්‍රිය කරන්නා, GovPay සඳහා හොඳම රජයේ ආයතනය, හොඳම LankaPay කාඩ්පත් සක්‍රිය කරන්නා, LankaSign ඩිජිටල් අත්සන් සඳහා හොඳම සක්‍රිය කරන්නා සහ හොඳම ඩිජිටල් ගෙවීම් උපාය මාර්ගය සඳහා සම්මානය ඇතුළත් වේ.
මෙවර LankaPay ටෙක්නොවේෂන් 2026 සම්මාන උළෙල සඳහා විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති රජීව බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා ලෝක කොටස් හුවමාරු සම්මේලනයේ (WFE) නාම යෝජනා සහ පාලන කමිටුවේ සාමාජිකයකු ලෙසද කටයුතු කරයි. දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) ව්‍යවස්ථාපිත ගිණුම්කරණ ප්‍රමිති කමිටුවේ සහ ගිණුම්කරණ ප්‍රමිති කමිටුවේ සභාපති, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Ernst & Young සමාගමේ හිටපු දේශීය කළමනාකාර හවුල්කරු මනිල් ජයසිංහ මහතා; BDO Partners විගණන සමාගමෙහි කළමනාකාර හවුල්කරු සහ ව්‍යවස්ථාපිත විගණන ප්‍රමිති කමිටුවේ හිටපු සභාපති සුජීව රාජපක්ෂ මහතා; B R ද සිල්වා සහ සමාගමේ හවුල්කරු සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා; හේමාස් C O E (පුද්ගලික) සමාගමේ සාමාන්‍යාධිකාරී – හවුල් සේවා සහ CA ශ්‍රී ලංකා විසින් සංවිධානය කරනු ලබන TAGS සම්මාන උළෙලේ 2025/26 වසර සඳහා සභාපති චමිලා කුරේ මහත්මිය; සහ ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාණිජ ව්‍යවසාය වන කප්රුක PLC හි නිර්මාතෘ සහ සභාපති දුලිත් හේරත් මහතා විනිශ්චය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරයි.
මෙම සම්මාන උළලේදී අංශ දෙළහක් යටතේ සම්මාන හතළීහයක් පිරිනෑමීමට කටයුතු යොදා ඇත.






අනුර ප්‍රේමලාල්
ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු



