ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාදෙන ජල සම්බන්ධතා වෙනුවෙන් සවි කරනු ලබන ජල මනු (ජල මීටර්) මින් ඉදිරියට ජල සම්පාදන මණ්ඩලයේ නඩත්තු සහ කාර්මික ඒකකය මගින් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම උපදෙස් ලබා දෙන ලදී.
සාමාන්‍ය නිවෙස් හා ආයතන වෙත ලබාදී ඇති ජල මනු (ජල මීටර්) ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බොහෝවිට එක් වසරකදී අක්‍රිය තත්වයට සහ විවිධ හේතූන් නිසා හානි වන අවස්ථා දැකගත හැකි වේ.
මෙවන් අවස්ථාවන් හිදී මෙම ජල මනු නැවත නිසි පරිදි අලුත් වැඩියා කිරීමට හැකියාව තිබියදීත් විදේශයන් මගින් ආනයනය කරන නව ජල මනුව සවිකිරීම බොහෝ විට සිදු කෙරේ.
මෙම තත්ත්වය වහාම නතර කරන ලෙසත් අවශ්‍ය උපාංග හැකිතරම් දේශිය වශයෙන් සපයාගෙන අපගේ කාර්මික ශිල්පීන් ලවා අලුත් වැඩියා කර භාවිතයට යොදවා ගන්නා ලෙසට අමාත්‍යතුමා දැනුම් දී සිටියේ ය.
මේ සම්බන්ධයෙන් කාර්මික ශිල්පීන් දැඩි සතුටකට සහ ඔවුන්ගේ ප්‍රසාදය ඉහළින්ම පළ කර අතර මෙසේ හැකියාව තිබියදීත් අපගේ විදේශ විනිමය වැය කරමින් මෙසේ නව ජල මනු ආනයනය කිරීම අපරාධයක් බව ද කියා සිටියේය.
ඉදිරියේදී නව ජල මනු ද ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙසට ද අමාත්‍යතුමන් අදාල බලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.