කොවිඩ් වසංගත තත්වය හේතුකොටගෙන අපේ රට මුහුණ දී තිබෙන අතිශය බිහිසුනු තත්වයත් එය මැඩපැවැත්වීම සඳහා දේශපාලන ව්‍යාපාර, ආණ්ඩුව, පුරවැසියන්ට තිබෙන කාර්යභාරය පිළිබඳව කරුණු කිහිපයක් පැහැදිලි කරන්න මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනවා. මේ වනවිට ලංකාව තුළ කොවිඩ් වසංගත තත්වය සීග්‍රයෙන් බිහිසුනු වසංගත තත්වයක් දක්වා දිනපතා වර්ධනය වෙමින් තිබෙනවා. එම තත්වයේ සීග්‍ර වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දත්තවලින් පැහැදිලි වෙනවා. පසුගිය දින තුනේදී කොවිඩ් රෝගීන් 7,192ක් හඳුනාගෙන තිබෙනවා. තවත් විදිහකට කියනවා නම් පසුගිය දින 10 තුළ හඳුනාගත් අයගෙන් 38%කට වඩා වැඩි ප්‍රතිශතයක් දින තුනකදී හඳුනාගෙන තිබෙනවා. 10වැනිදා 2,624ක්, 09වැනිදා 2,672ක් සහ 08වැනිදා 1,896ක් ආදී වශයෙන්. ඒ වගේම මියයැම් 10වැනිදා 26ක්, 09වැනිදා 15ක්, 08වැනිදා 22ක් වශයෙන් වාර්තාවලට අනුව මේ දින තුන ඇතුළත 63දෙනෙකු මියගොස් තිබෙනවා. සැබවින්ම ගත්තොත් ඝාතනය වී තිබෙනවා. එය ඉතා බරපතළ තත්වයක්. පුරෝකතනය කරන සමහර ආයතනයන් මෙය ඉතාමත් භයානක අන්තයකට තල්ලුවිය හැකි බවට බරපතළ අනතුරු ඇඟවීම් කර තිබෙනවා. මියයන සංඛ්‍යාව සහ රෝගය වැළඳෙන සංඛ්‍යාව දෛනිකව විශාල අනතුරු ඇඟවීම් ජාත්‍යන්තර මට්ටමින් අපේ රට කෙරෙහි සිදුකර තිබෙනවා. මෙය මැඩපැවැත්වීම සඳහා තිබෙන අපේ සෞඛ්‍ය යාන්ත්‍රණය විශාල වශයෙන් අඩපන වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට රෝගය වැළඳුනු අය රෝහල් කරා ගෙනයාමට නොහැකිව දිස්ත්‍රික්ක ගණනාවක 100කට වඩා වැඩි ප්‍රමාණයක් නිවෙස්වල සිටිනවා. ඔවුන්ට ඇඳක් සොයා ගැනීමට නොහැකි බව අපිට බොහෝ අය කතාකරමින් මේ බව දන්වමින් සිටිනවා. රජයේ රෝහල් පද්ධතියත්, අතරමැදිව ගොඩනගන ලද රෝහල් පද්ධතියෙත් මුළු ඇඳන් පිරී ගොස් තිබෙනවා. මේ නිසා රෝගීන් නිවෙස්වල කර කියාගත දෙයක් නොහැකිව අසරණ වෙලා. අනික් පැත්තෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල තමන්ගේ වගකීම පූර්ණ ලෙස ඉටුකිරීම සඳහා උත්සාහ දරමින් සිටියදී පවා මූලික පහසුකම් පවා නොමැති තත්වයක් තිබෙනවා. ආරක්‍ෂිත ඇඳුම් කට්ටල, වෙනත් යටිතල පහසුකම් කිසිවක් වර්ධනය කර නොමැති පසුබිමක ඇතැම් රෝහල්වල උද්ඝෝෂණ පවා සිදුකරනවා. මෙම රෝගය මැඩපැවැත්වී සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්වරුන් සමාජයීය වශයෙන් විශාල කාර්යභාරයක් කරනවා. හැබැයි ඔවුන්ට අවශ්‍ය පහසුකම් කිසිවක් ලබාදීමට අසමත් වීම හේතුකොටගෙන අකුරට වැඩ කිරීම් පවා ආරම්භ කිරීම සූදානම් වෙනවා. එයින් කියවෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල හෙම්බත්වීමකට ලක්වී තිබෙන බව. ඒ වගේම හමුදාව පීඩාවට පත්වෙලා. ඔවුන්ට ලබාදෙන ආහාර වේල පවා ලාභ හාලකින් ආහාරයට ගැනීමට නොහැකි තත්වයේ ආහාර ලබාදෙනවා. මේ නිසා කාර්ය මණ්ඩල විශාල හෙම්බත්වීමකට සියලුම අංශවලින් ලක්වී තිබෙනවා. ආයතනයන් පවා කඩා වැටී තිබෙනවා. මහජනයා තුළ සැකය, අවිශ්වාසය, වර්ධනය වෙලා. මහජනතාව තුළ විශාල නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් තිබෙනවා. මේ නිසා කොවිඩ් වසංගතය තුළ සංකීර්ණ විශාල ගැටලු ප්‍රමාණයක් ඇතිවී තිබෙනවා. මේ නිසා වහාම කොවිඩ් තත්වය මැඩපැවැත්වීමට අසමත් වුවහොත් විශාල සමූහ මිනිස් ඝාතන බවට වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා. මේ කිසිවක් වෛරසයේ ස්වභාවික තත්වය නොවේ. මේ බොහෝ කරුණු ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ අනිකුත් පරිපාලන ක්‍ෂේත්‍ර විසින් කරන ලද නොසලකා හැරීම්, අත්හැරීම් සහ වැරදි තීන්දු මේ තත්වයට මූලික වී තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ උඩඟු, මෝඩ අපරිණත නායකයෙක් විදිහට කටයුතු කිරීමෙන් ව්‍යසනයක් ඇතිවී තිබෙනවා. කිසිවෙකුට ඇහුම්කන් නොදෙන, හිතුවක්කාර, තක්කඩි ප්‍රවේශයක් ඔහු තුළින් වර්ධනය වී තිබෙනවා. මේ නිසා පිළියම් යොදන සෞඛ්‍ය අංශ, විශේෂඥ කණ්ඩායම් ජනාධිපතිවරයා ඉදිරියේ විවෘත සාකච්ඡාවලට නොගිහින් සිටිනවා. කරුණු විවෘතව ඉදිරිපත් නොකර සිටිනවා. ජනාධිපතිවරයාගේ මෙම හිතුවක්කාර හැසිරීම අද අපේ රටේ මිනිස් ජීවිත බිළි ගනිමින් තිබෙනවා. රට විශාල අනාරක්‍ෂිතභාවයකට පත්වී තිබෙනවා. මෙම තත්වය ඕපපාතිකව ඇතිවූවක් නොවේ. දූපතක් වන බැවින් වෛසරය අපේ රටට ඇතුල්වීම වළක්වා ගැනීමට ඕන තරම් ඉඩකඩ තිබෙන බව අපි මුල සිටම පැහැදිලි කර දුන්නා. හැබැයි මොන තරම් අසමත්කම්, අත්හැරීම්, වැරදි තීන්දු-තීරණ ආණ්ඩුව අරගෙන තිබෙනවාද බලන්න. දැනට අපේ ආයතන ව්‍යූහය අනුව ජනාධිපතිවරයා, සෞඛය අමාත්‍යවරිය, ඖෂධ භාර අමාත්‍යවරයා, දේශීය වෛද්‍ය අමාත්‍යවරයා මේ යාන්ත්‍රණයේ මූලික වගකීම් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට දිය යුතුව තිබෙනවා. හැබැයි මේ කිසිවෙක් ඒ වගකීම් ඉටු කළාද? සෞඛ්‍ය අමාත්‍යවරිය විටෙක මුට්ටි ගඟට දානවා. තව විටෙක පැණි බොනවා. ඖෂධ භාර අමාත්‍යවරයා පැණියක් බදාගෙන දඟලනවා. අපි මේ ඔක්කොම දිහා ගැටුම්කාරී ප්‍රවේශයකට නොයා සමහර දේවල් දෙස උපේක්‍ෂාවෙන් බලාගෙන හිටියා. හැබැයි අවසන් ප්‍රතිඵලය කුමක්ද? කාලි අම්මගේ පැණිය පාර්ලිමේන්තුවට ගෙනියනවා. ඇමතිවරුන් ළඟට ගෙනියනවා. මාධ්‍ය ආයතනවලට ගෙනියනවා. අපේ මව්බිමේ පුරවැසියන් අපරිණත දේශපාලන නායකයන්ගේ දඩබිමක් බවට පත්කළා. සමහර නාළිකාත් මේවට වගකියන්න ඕනෑ. ධම්මික පැණියේ ප්‍රවර්ධනයේ නියමුවා බවට එක නාලිකාවක් පත්වුණා. කොරෝනාවලට කිසිසේත්ම ඖෂධයක් නොවන බව ඒ නාලිකාව කියනවාද? ආණ්ඩුවේ නාලිකා විශේෂයෙන් අයි.ටී.එන්. නාලිකාව හැසිරුනේ කොහොමද ? රාවණා පැණියේ වෙදා අයි.ටී.එන් නාලිකාව අස්සට ගෙනල්ලා පැණි බෙදන්න පටන් ගත්තා. අද මාධ්‍ය ආයතනවලට විශාලම කොරෝනා පොකුර අහු වුණේ අයි.ටී.එන්. නාලිකාවෙන්. ඒ සභාපතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලුවාද? වගකීම්විරහිත දේශපාලන සහ අනෙකුත් නායකයින්ට මේ ව්‍යසනය විසඳන්න පුළුවන්ද? මේ නායකත්වයන් අසමත්. ඒ වගේම ගොඩනගන ලද යාන්ත්‍රණය අසමත්. මා පෞද්ගලිකව කිසිවෙකු විශේෂයෙන් අගය කරනවා හෝ පහතට හෙළනවා නොවේ. නමුත් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්තුමා, වෛද්‍ය අනිල් ජාසිංහ මහත්තයා දීර්ඝ කාලයක් එම තනතුරේ හිටියා. මුල් අවදියේදී වසංගතය මැඩපැවැත්වීම සඳහා ඔහු කළ කාර්යභාරය ගැන පසාදයක් සහ ඇගයීමක් ජනතාව තුළ තිබුණා. ඒ වගේම වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මෙය මැඩපැවැත්වීම සඳහා විශාල කාර්යභාරයක් කළා. රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මැතිතුමා මුල් අදියරේදී විශාල කාර්යභාරයක් කළා. ඔවුන් අද කෝ? රජයේ රෙගුලාසි අනුව මේ නිලධාරීන්ට කැබිනට් මණ්ඩල අනුමැතියකින් සේවා දිගුවක් ලබාදෙන්න පුළුවන්. එවැනි ප්‍රතිපාදන පරිපාලන ව්‍යූහයේ තිබෙන්නේ මෙවැනි අවස්ථාවල ප්‍රයෝජන ගන්න. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විශ්‍රාම යාමට නියමිතව තිබුණු නිසා ඔහුට සේවා දිගුවක් ලබාදෙනවා වෙනුවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් හැටියට පත්කළා. පබා පලිහවඩන මහත්මිය විදේශ තානාපතිවරියක් කරන්න යෝජනා කර තිබුණා. ඒ ක්‍ෂේත්‍රය පිළිබඳව කාලයක් ලබාගත් අත්දැකීම් වැදගත්. මේ වැනි අ ය ව්‍යසනය අවසන් වන තුරු ඒ තනතුරුවල තියාගත යුතුව තිබුණා. එහෙම හැසිරීමක් ආණ්ඩුවේ තිබුණේ නැහැ. මේ නිසා අද මුලු යාන්ත්‍රණයම බිඳ වැටිලා. මෙය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නොවන බව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාම කියලා තිබුණා. හැබැයි ඔහුගේ ප්‍රවේශය වුණේ සෞඛ්‍ය විශේෂඥයන් මූලික කරගත්ත එකක් නෙවෙයි. ඒ නිසා මෙම යාන්ත්‍රණයේ ප්‍රමුඛතව කාර්යභාරය සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දුන්නේ නැහැ. වෙන වෙන අය යාන්ත්‍රණයේ ප්‍රධානීන් බවට පත්කළා. මේ නිසා මුළු යාන්ත්‍රණයම බිඳ වැටිලා. බිඳ වැටීම කොතෙක්ද කියනවා නම් රජය ලබාදෙන තොරතුරු සහ දත්ත පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා. මේ යාන්ත්‍රණයේ එක එක අය එක එක දේවල් කියනවා. මෙවැනි ප්‍රශ්නයකදී සමාජයක් එක තැනකට ගෙන යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් එක හඩින් එක ප්‍රකාශයක් ජනතාව වෙත ගෙන යා යුතු වෙනවා. නමුත් සිදු කරන්න කාලගුණ දත්ත වගේ දත්ත ඉදිරිපත් කිරීම විතරයි. කොරෝනා මැඩ පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ගොඩනගා තිබෙන යාන්ත්‍රණය මුළුමනින්ම අසාර්ථක වී තිබෙනවා. මේ වෛරසය එක් එක් අවස්ථාවල එක් එක් ප්‍රභේදයන් බවට අනුවර්තනය වීම එහි ස්වභාවයක්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් විසින් වරින් වර මේ ප්‍රභේදයන් පිළිබඳව හඳුන්වාදීම් කළා. අලුත් අනුවර්තනයකට ලක්වූ ප්‍රභේදයන් තමන්ගේ රටට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ලෝකයේ රටවල් අනුගමනය කළා. බි්‍රතාන්‍ය ප්‍රභේදය විශාල ලෙස වර්ධනය වූ බව එක් අවස්ථාවක හඳුනා ගත්තා. මේ නිසා ලෝකයේ රටවල් එව වෛරසය ඇතුලු වීම වැළැක්වීම සඳහා විවිධ සීමා පැනවූවා. එංගලන්තයේ සිට පුරවැසියන් ඒ ඒ රාජ්‍යයන්ට ඇතුළුවීම නතර කළා. එංගලන්තයේ සිට ගුවන් ගමන් නතර කළා. නව ප්‍රභේදය ඇතුළත් වීම වළක්වාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සමත් වුණාද? දැනට වාර්තා වෙන ආකාරයට අපේ රටට ඇතුළත් වී නැත්තේ බ්‍රසීල ප්‍රභ්දය පමණයි. ඉන්දියාවේ සෝචනීය තත්වය විශාල වශයෙන් වාර්තා වුණා. අපි හැම දෙනාගේම හද කකියන, භීතියක් ඇති කරවන තත්වයන් අපි දැක්කා. සමහර රටවල් තම පුරවැසියන් ඉන්දියාවේ සිට පැමිණීම වැලැක්වූවා. ඕස්ටේ්‍රලියාව තමන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අයි.පී.එල්. තරඟවල ඉඳලා පැමිණීම වළැක්වූවා. මේ පාලකයෝ ඒ ආකාරයෙන් කටයුතු කළාද?සමහර ඉන්දියානු ජාතිකයන් ඇවිල්ල තිබුණේ අප්‍රේල් 28. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ කරලා තිබුණේ මැයි 3 සහ 4 කියන දෙදින තුළ. ඔවුන්ට කොවිඩ් වසංගතය වැළඳී තිබෙන බව වාර්තා වෙනවා. අපි දූපතක් නිසා ගුවන්තොටුපොළ, වරාය සහ නීති විරෝධී මුහුදු ගමන් වළක්වාගන්න ඉඩ තිබුණා. වෛරස් ප්‍රභේදය සහ ඒ ප්‍රභේදයේ අනුවර්තනයන් අපේ රටට ඇතුල්වීම වළකවාගත හැකිව තිබුණා. එහිදීත් අපේ රටේ පාලකයන් අසමත්. අනෙක් පැත්තෙන් එන්නත් සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය මොකක්ද? පී.සී.ආර්. අවශ්‍ය නැති බවත් සියලුදෙනාට එන්නත් ලබා දෙන බවත් ජනාධිපතිවරයා කීවා. හැබැයි ඊට අවශ්‍ය එන්නත් රටට ලබාගැනීම සඳහා තිබුණු සැලැස්ම කුමක්ද? පහුගිය දෙසැම්බර් මාසය වෙනකොට එන්නත් හඳුනාගෙන තිබුණා. සමහර රටවල් දෙසැම්බර් මැද වෙනකොට එන්නත් ලබාදීම පටන්ගෙන තිබුණා. මේ එන්නත් ලබාගැනීමට ඉල්ලීම් කිරීම, ගිවිසුම්ගත වීම වැනි මූලික ක්‍රියාමාර්ග තිබුණා. ආණ්ඩුව මේ කිසිවක් කළේ නැහැ.
දැන් තිබෙන්නේ මිනිස් ජීවිතත් නැති කර ආර්ථිකයත් නැතිකරන ගමනක්. ජ.වි.පෙ.නායක අනුර කුමාර දිසානායක
RELATED ARTICLES