කොරෝනා පිළිබඳව අපි හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙන වෙලාවක ආණ්ඩුව කඩිමුඩියේ වරාය නගර ආර්ථික සංවර්ධන පනත සම්මත කරගන්න උත්සාහ කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(16) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.එහිදි වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය………….
මේ පනත ඉදිරිපත් කළ මොහොතේම ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපිත්, තවත් සංවිධාන ගණනාවක් සහ පුද්ගලයන් මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අධිකරණයේ තීන්දුව කථානායකතුමාට එවලා තියෙන්නේ. 18වැනිදා කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම් දෙනවා. 19 සහ 20 දෙදින තුළ මේ පිළිබඳව විවාදයක් පවත්වා සම්මත කරගන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. රට ඇතුළේ විශාල ව්‍යසනයක් තියෙද්දී ඒ තත්වය පාවිච්චි කරලා තක්කඩිකමට මේ පනත සම්මත කරගන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ආණ්ඩුවට මේ ගැන කොච්චර හදිසියක් තියෙනවාද කියනවා නම් අධිකරණයේ තීන්දුව ලැබෙන්නත් කලින් දින දා ගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කළා.
ජනතාව තුළ සංවාදයකට ලක්වෙන්න කලින් මේක සම්මත කරගන්න දැනුත් උත්සාහ කරන්නේ.
පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා ඉතා පැහැදිළිව මේ සම්බන්ධයෙන් සමාජය තුළ සාකච්ඡාවට ඉඩ ලබාදෙන්න කියලා ඉල්ලා සිටියා. නමුත් 2/3 බලය පාවිච්චි කරලා ඒ ඉල්ලීම පැත්තකට දාලා සම්මත කරගන්න සූදානම් වෙනවා. පෝට් සිටි පනත කලබලයේ සම්මත කරගන්න ආණ්ඩුවට තියෙන තදියම මොකක්ද කියලා බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙනවා. අපේ රටේ ස්වෛරීත්වය ගැන, ස්වාධීනත්වය ගැන ගැටළු තියෙන මේ වගේ විශේෂ පනතක් සම්මත කර ගැනීමේදී ජනතාවගේ අදහස් දක්වන්න අවස්ථාවක් තියෙන්න ඕනෑ. නමුත් මේ මොහොතේදී ජන හමු තියන්න, සම්මන්ත්‍රණ තියන්න, පත්‍රිකාවක් බෙදන්න, සහ ජනමතයක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් නැහැ. ජනතාව බියට පත්වෙලා ඉන්නේ. එළියට බහින්නැතිව කොරෝනා සම්බන්ධයෙන් බයෙන් ඉන්න වෙලාවක සමහර දිස්ත්‍රික්කවලට ගං වතුරකුත් ඇවිල්ල තියෙන තත්වයක් තුළ ආණ්ඩුව බොරදියේ මාළු බාන්න උත්සාහ කරනවා.
මේ පනත නිවැරදි එකක් නම් ජනතාව තුළ සංවාදයක් වෙනුවෙන් ඉඩකඩ ලබාදීම ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය. පක්‍ෂ, විපක්‍ෂ අදහස් දැක්වීමෙන් ජනතාවට අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. මේ සම්බන්ධ අධිකරණ තීන්දුව තුළ මේ පනතේ වගන්ති කිහිපයක් හෝ සරල බහුතරයෙන් සම්මත කරගන්න බැරි වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ මොකක් වුණත් අධිකරණයේදී මේ පනත සම්බන්ධයෙන් විභාග වෙන්නේ ආර්ථික හානි, සංස්කෘතික හානි, ජාත්‍යන්තර බල අරගලය සහ අහිතකර වෙනත් කරුණු ගැන නෙවෙයි. මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන එක විතරයි බලන්නේ. අධිකරණය තුළ සාකච්ඡා වෙන්නේ නැති කාරණයක් මූලික වශයෙන්ම තීයෙනවා. ඒ තමයි අපේ රටේ ආර්ථිකයට, ස්වාධීනත්වයට, සංස්කෘතියට, අනාගත ආරක්‍ෂාවට බලපාන ආකාරය ගැන සංවාදය ඇතිවෙන්න ඕනෑ සමාජය තුළ. ඒකට ඉඩකඩ තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව ඉතාම තක්කඩි විදිහට ඒ අවස්ථාව අහිමි කරලා කටයුතු කරනවා. මේකට ඉඩ දෙන්න එපා කියලා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.
අපේ රටට අලුතින් එකතු කළ භූමියේ පාලනය සම්බන්ධයෙන් මේ පනත සම්මත වුණාට පස්සේ ආපහු හරවන්න බැහැ. මේක බරපතළ තීන්දුවක්. මේ ආණ්ඩුව රිවස් ආණ්ඩුවක් තමයි. ජනාධිපතිවරයාගේ බොහෝ ගැසට් රිවස් කරනවා. හැබැයි ගැසට් රිවස් කළාට මේ පෝට් සිටි පනත රිවස් කරන්න බැහැ. සම්මත කළොත් සම්මත කළාම තමයි. සම්මත කරන්න කලින් ජනතාවට අවබෝධ කර ගන්න ඉඩ හදන එක ඉතාම වැදගත්. ආණ්ඩුව ඒ කිසිවකට ඉඩ නොතබා ජනතාව වේදනාවට පත්වෙලා ඉන්න වෙලාවේ තක්කඩි විදිහට සම්මත කරගන්න යනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හෘදයසාක්‍ෂියක් තියෙන මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලනවා, මේකට විරුද්ධ වෙන්න කියලා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේකට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා දිනවන්න කටයුතු කළ පිරිසක් දේශප්‍රේමයේ පේටන්ට් අයිතිය තියාගෙන ඉන්නවා. මේ අයට දැන් අවස්ථාව ඇවිල්ල තියෙනා තමන් ඇත්ත දේශප්‍රේමීන් නම් රටට හානිකරන මේ පනතට විරුද්ධව අත උස්සන්න කියලා අපි අභියෝග කරනවා. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ඇත්ත දේශප්‍රේමීන් කියලා, ඇත්ත අධිරාජ්‍ය විරෝධීන් කියලා පෙන්වන ලෙස අපි බල කරනවා.