22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති දෙවන වරටත් ශම්මි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති දෙවන වරටත් ශම්මි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (20) උදෑසන පැවැත්වුණු අතර ඒ අනුව නොකඩවා දෙවැනි වරටත් එහි සභාපති ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්වුනා.

නිලවරණය පහසුවෙන්ම ජය ගැනීමට ශම්මි සිල්වා ඇතුළු පාර්ශවයට හැකියාව ලැබුණේ කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා තෝරාගැනීමට අදාළ නිලවරණයෙන් පසුගිය 18 වැනිදා ඉල්ලා අස්වීම නිසයි.

ඔවුන් තිදෙනා පිළිවෙළින් සභාපති, නියෝජ්‍ය සභාපති සහ ලේකම් ධූර සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “නිලවරණ කමිටුව” වෙත ලිපියක් යවමින් ඔවුන් සිය ස්ථාවරය දන්වා තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සහාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලය ඉදිරි වසර දෙකක කාලය සඳහා සිය තනතුරුවල රාජකාරී කටයුතු සිදු කරනු ඇත.

2021-2023 ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිලධාරී මඩුල්ල මෙසේයි, සභාපති – ශම්මි සිල්වා, උප සභාපති – ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න,ලේකම් – මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ ,උප ලේකම් – ක්‍රිශාන්ත කපුවත්ත,උප භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද,තරග කමිටු සභාපති – සමන්ත දොඩන්වෙල,ක්‍රිකට් සමාජ නියෝජිතයින් – ජනක පතිරන සහ නලින් අපොන්සු,අනුබද්ධ ක්‍රිකට් සමාජ නියෝජිත – ප්‍රියන්ත අල්ගම,විනිසුරුවන්ගේ කමිටු සභාපති – බන්දුල දිසානායක.

2019 දී අවසන් වරට පැවති නිලවරණයේ දී සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්ද 27කින් තේරී පත්වුනා. එම නිලවරණයේ දී ශම්මි සිල්වා මහතාට ඡන්ද 83ක් හිමි වූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා ලෙස නිලවරණයට ඉදිරිපත් වූ ජයන්ත ධර්මදාස මහතාට හිමි වූ ඡන්ද ගණන 56ක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිල මඬුල්ලේ ධූර කාලය පසුගිය අප්‍රේල් 5 වැනිදායින් අවසන් වුනා.

ඒ නිසාවෙන් අප්‍රේල් 6 වැනිදා සිට නව නිලධාරි මඩුල්ලක් පත්වන තෙක් ගරු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරනු ලැබුවා.

එම කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතායි. ඈෂ්ලි ද සිල්වා මහතා ලේකම් ධුරයටත්, සුජීව මුදලිගේ මහතා භාණ්ඩාගාරික ධුරයටත් පත් කර තිබෙනවා. නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා කමිටුවේ සාමාජිකයෙකු වන අතර, අමල් එදිරිසූරිය මහතා එහි නිරීක්ෂකයෙක් වුනා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments