වර්තමානයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිර යෑමට හේතුව ආණ්ඩුව පසුගිය කාලයේ කොරෝනා අවසන් බවට උදම් අනමින් රටවැසියන් අතර වයිරසයට පැවැති බිය සහ අවධානම ඉවත් කිරීම බව සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය.
මෙරටට පීසීආර් කට්ටල ගෙන්වීමේ ටෙන්ඩර් කිහිපයක්ම කොරෝනා අවසන් බව පවසමින් ආණ්ඩුව විසින් අවලංගු කළ බවද මන්ත්‍රීවරයා කීවේය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (8 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.
”කොරෝනා වසංගතයෙන් මිදීමට අපිට තිබුණු විශාලම වාසිදායක තත්ත්වය තමයි අපි දූපතක්ව සිටීම. මේකට ඇතුළු වෙන්න පුළුවන් එකම තැන ගුවන්තොටුපොළ. අපි මුලින්ම කිව්වේ ඒක වහන්න කියලා. සජිත් ප්‍රේමදාස මහතා ඒක කිව්වෙ පසුගිය පෙබරවාරි මාසයේ ගොඩබිමින් මිනිස්සුන්ට එන්න පුළුවන් නිසා යුරෝපයේ හෝ ඉන්දියාවේ තත්ත්වය මීට වඩා වෙනස්. නමුත් ලංකාවට වසංගතය ආවා. ආපු ගමන් අපි කිව්වා රට ලොකු ඩවුන් කරන්න කියලා.
ඒ වෙලාවේ අපිට හිනාවුණා. එදා කිව්වෙ රෝගීන් විසි තුනක් ඉන්න කොට ලොක්ඩවුන් කරන්න කීම විහිළුවක් කියලා. මේ අය ලොක්ඩවුන් කියන එකේ වෛද්‍යමය අර්ථයවත් දන්නෙ නැහැ. නමුත්, මුළු ලෝකෙම මේ වසංගතය පාලනය කරන්න පාවිච්චි කරපු ලොකුම අවිය තමයි ලොකු ඩවුන් කිරීම. තායිවානය සහ හොංකොං වගේ දූපත් අපිට වඩා හොඳින් වසංගතය කළමනාකරණය කළේ ලොක්ඩවුන්වලට ගිහින්. ඔවුන් අපි තරම් වියදම් කරන්නත් නැතුව ඇති. ඔවුන් කළේ තමන්ගෙ ගුවන්තොටුපොළ හරියට කළමනාකරණය කිරීම.
එම්.ආර්.අයි.එකේ අධ්‍යක්ෂවරයාව අයින් කළා. නමුත් එතුමා එදා දේශපාලනයේ යෙදිල හිටියෙ අගමැති මහින්ද රාජපක්ෂ එක්ක. එතුමාත් එක්ක පුද්ගලිකවත් හොඳයි. එතුමාගේ ආර්යාවත් එක්කත් හොඳයි. පුද්ගලිකවම ගනුදෙනු කරනවා.
ඔහු පුනරුත්ථාපනයේ අධ්‍යක්ෂවරයා විදියට හොඳ කාර්යභාරයක් කළා. ඒ නිසා තමයි ජයරුවන් බණ්ඩාර වෛද්‍යවරයාව මම එදා ගෙනාවේ. අනිල් ජාසිංහව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කරන කොට මම දැනගෙන හිටියා ඔහු අනික් පැත්තෙ කියලා. ඔහු කොමියුනිස්ට් පක්ෂය පිටරට ගිහිල්ලා වෛද්‍ය වෘත්තිය හදාරපු පුද්ගලයෙක්. ඔහුගේ මාමා කොමියුනිස්ට් පක්ෂෙ හිටපු මන්ත්‍රීවරයෙක්. ඔහුගේ සහෝදරයා මගේ බැච් මේට්. ඒ ඔක්කොම දැනගෙනයි මම පත් කළේ. මට වැදගත් වුණේ අමාත්‍යාංශයේ කටයුතු කොයිතරම් හොඳට ගෙනියනවද කියන එක විතරයි.
නමුත් වෛද්‍ය ජයරුවන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඔහුට පරිපාලන ශ්‍රේණි සුදුසුකම් තිබුණෙ නැහැ. ඒනිසා තමයි මම ඔහුව වැඩබලන අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කළේ. දුර්වලව තිබුණු එම්.ආර්.අයි. එක ඔහු හොඳටම දියුණු කළා. පසුගිය කොරෝනා වසංගතය වෙලාවෙ ඔහු රජයට කෝටි දහයක පහළොවක විතර මුදල් ගෙනාවා. ඔහු හොඳ රසායනාගාරයකුත් හැදුවා ගුවන්තොටුපොළේ. ඒක හදපු වෙලාවෙත් ඔහුගේ නිලධාරීන් නොයෙක් දේ කියලා තිබුණා. ඒ නිසා අපිට එම්.ආර්.අයි. එකේ පී.සී.ආර්. පරීක්ෂණ පිළිබඳව කිසිම ගැටලුවක් තිබුණෙ නැහැ. රජයම පී.සී.ආර්. පරීක්ෂණ කරන එක විතරයි අඩු වුණේ.
නමුත් දැන් ඔහුව අයින් කරලා. ඔහු මොන දේශපාලන මතය දැරුවත් වෛද්‍යවරයෙක් විදිහට බයක් නැතුව ප්‍රකාශ නිකුත් කළා. මොකද ඔහුම මැදිහත් වෙලා බිහි කරපු ආණ්ඩුව. කොරෝනා විසබීජ පසුගිය දවස්වල ලංකාවේ තියෙනව කියලා ඔහු කිව්වා. ඒක ඇත්ත වුණා. තවම හොයාගෙන නැහැ වයිරසය කොහෙන්ද ආවෙ කියලා. පළමුවැනි කාන්තාවට වැලඳෙන්න කලිනුත් බ්‍රැන්ඩික්ස් එකේ තවත් උණ රෝගීන් ඉඳල තියෙනවා. ඒ කියන්නෙ මේ ජන සමාජයේ රෝගීන් ඉඳල තියෙනවා. නමුත් ගැටලුව තමයි ඔවුන්ගෙන් බොහෝ අයට රෝග ලක්ෂණ නැහැ. නමුත් ආණ්ඩුව පෙන්නුවෙ කොරෝනා ඉවරයි කියලා. කොරෝනාව පාලනය කරපු ලෝකය දෙවැනි හොඳම රට කිව්වා. මේකෙන් වුණේ පී.සී.ආර්. පරීක්ෂණවලට තිබුණු ටෙන්ඩර් පවා ආණ්ඩුව විසින් කැන්සල් කරපු එක. ඒවා අවශ්‍ය නැහැ කිව්වා.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කිව්වා තව අවුරුදු දෙකක් යනකම් කොරෝනාව පාලනය කරන්න බැහැ කියලා. එක එක රටවල් කියනවා එන්නතක් හැදුවා කියලා. හැබැයි එන්නතක් එළියට එන්න අවුරුදු තුනහමාරක්, හතරක් යනවා.
දැන් අලුත් කෙනෙක් මෙතෙනට දැම්මහම මුල ඉඳල වැඩ ටික කර ගන්නෙ කොහොමද? දැන් වෙලා තියෙන්නේ එක එක්කෙනාගෙ කේලම් අහගෙන වැඩ කරන එක. ඒකට තමයි මුරුත්තෙට්ටුවේ හාමුදුරුවො දැන් දොස් කියන්නෙ. මහින්ද රාජපක්ෂල පැරදිලා මුලින්ම මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බෙ ඔය අභයාරාමේ. වෙන කිසිම තැනක් කවුරුවත් දුන්නෙ නැහැ. පොහොට්ටුව කාර්යාල හදනකම් කාර්යාලය වුණේ අභයාරාමය. අද ඒවා අමතක වෙලා.
බන්දුල ගුණවර්ධන කියනවා වෙන ඇමැති කෙනෙක් හිටියා නම් මෙහෙම තත්ත්වය පාලනය කරන්න බැහැ කියලා. හැබැයි එතුමා තමයි දෙදාස් පන්සීයෙන් කන්න දීලා පොල් බෑයට ගණන් කිව්වේ. අද ජී.එම්.ඕ. එක මොකද කියන්නෙ? එයාලගෙ කටවල් වැහිලා. එදා ඖෂධයක් දෙකක් නැති වෙනකොට කෑගහපු ජී.එම්.ඕ. එක අද ඖෂධ අටසිය තිහක් නැති වෙන කොට කතා කරන්නෙ නැහැ. දැන් පිළිකා ඖෂධ නැහැ. තැලිසීමියා දරුවන්ට බෙහෙත් නැහැ. මාස දෙක තුනක් ඔය බෙහෙත නැති වුණොත් ඒ දරුවො මැරෙනවා. ඒ දරුවන්ගෙ සමහර දෙමව්පියො විතරයි බේරගන්න කියලා පොහොට්ටුවට ඡන්දෙ දුන්නා. අද ඒ අය කම්පා වෙනවා.
ආණ්ඩුව බොහොම විවේකීව හිටියෙ කොරෝනා ඉවරයි කියලා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශය කියෙව්ව නම් ඒ මතය මිත්‍යාවක් කියලා ඉංග්‍රීසි තේරෙන්න ඕන කෙනකුට වැටහෙනවා.
මෙවැනි රැලි තමයි කොරෝනාවට එන්නෙ. නැතුව එක දිගට ගිහින් නවතින්න කියලා එකක් නැහැ. ඒ නිසා තව අවුරුදු දෙකක් අපි කොරෝනාවට මුහුණ දෙමින් යන්න ඕන.
නමුත් ගත යුතු වළක්වාලීමේ පියවරවලට ප්‍රධානම බාධකය වුණේ පසුගිය මහමැතිවරණය. ඒ තුළ මිනිස්සුන්ට තිබුණු සුරක්ෂිතභාවය ලිහිල් වුණා.