29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් සද්භාවයෙන් ගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාව ලබාදීම පිණිස නීති...

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් සද්භාවයෙන් ගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාව ලබාදීම පිණිස නීති කෙටුම්පත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ගවලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දුන්නේය.

“දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී අද (13) දින පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සහය දීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කමිටුවක් පත්කරමින් එම නිර්දේශ මසක් ඇතුළත ලබාදෙන්නැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී නියෝග කළේය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීමට අදාළ අරමුණ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි  සෙනරත් මහතා විසින් මෙහි දී පැහැදිලි කරන ලදි.

2019 නොවැම්බර් 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මහත්මිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහි දී කරුණු පැහැදිලි කළහ.

නිලධරයන්ට තිබෙන නෛතික රාමුව ඉක්මවා සද්භාවයෙන් යුතුව රාජකාරි ඉටු කිරීමට ඉඩදිය හැකි සීමාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළව සකස් කළ කෙටුම්පතක්ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා මෙහි දී කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව නෛතික නොවන ක්‍රියාවලියක් ඔස්සේ ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ සේවයකයන්ට මුහුණ පෑමට සිදු වූ ගැටලු අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා  පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ,රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේශ් ධර්මවර්ධන, අතිරේක ලේකම් (නීති) චන්ද්‍රා ජ‍යතිලක, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන, ජනාධිපති අධ්‍යක්‍ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments