පසුගිය සඳුදා අපේ රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබෙනවා. එසේම එම කැබිනට් පත්‍රිකාවට අනුරූපී වන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතාත් නිව් ෆෝට්ට්‍රස් ඇමරිකානු සමාගම සමග ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. මේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ එක් එක් රාජ්‍යයන්ට, විටෙක චීනයට, තවත් අවස්ථාවක ඉන්දියවෙට, තවත් විටෙක ඇමරිකාවට රටේ ජාතික සම්පත් අලෙවි කිරීමයි. පසුගියදා පොට් සිටි පනත මගින් විශාල බලයක් චීන සමාගම වෙත පවරා දුන්නා. එසේම දැන් ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඇතුළු වරාය ඉන්දියානු වුවමනාවන් සඳහා පවරා දීම පිළිබඳව සාකච්ඡාවක් සිදුවෙමින් තිබෙනවා
මේ පැත්තෙන් කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයත් නල පද්ධතියත් එයට ගෑස් සැපයුමත් ගබඩා සංකීර්ණයත් මුළුමනින්ම ඇමරිකානු එක්සත් ජනපද සමාගමක් වෙත පවරා දීම සඳහා උත්සාහයක් තිබෙනවා. මුදල් අමාත්‍යවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ ඒ අනුවයි. මුදල් අමාත්‍යාංහයේ ලේකම්වරයා, මෙම ෆෝට්ට්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගම සමග මේ ගිවිසුම අත්සන් කොට තිබෙන්නේ ඒ අනුවයි. අප වැනි රටක විශාල බලශක්ති වෙළඳපොළක් නැති බව අපි දන්නවා. ඒ නිසා අද බලශක්තිය අත්පත් කර ගන්නා තැනැත්තා හෙට අප රට පාලනය කිරීමේ බලය ලබා ගන්නවා. එහි වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ විදුලි බලයයි. කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මෙගා වොට් 300ක බලාගාරයක්. එය ඉදිකර තිබෙන්නේ ස්වභාවික ගෑස් සඳහා පරිවර්තනය කළ හැකි ආකාරයටයි. එහි අයිතිය තිබෙන්නේ මුළුමනින්ම රාජ්‍ය සමාගම් සතුවයි. 50%කට අධික කොටස් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය සතු වනවා. තවත් කොටස් ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලටත් තවත් ප්‍රමාණයක් රජය සතු ලෙකෝ සමාගමට තිබෙනවා. තවත් ප්‍රමාණයක් රජය සතු එල්ටීඑල් සමාගම සතුව තිබෙනවා.
භාණ්ඩාගාරය ඇතුළු රාජ්‍ය ආයතන 04කට අයිතිව තිබෙන මෙම යුගදනවි බලාගාරයේ භාණ්ඩාගාරය සතු කොටස්වලින් 40%ක ප්‍රමාණයක් මෙම ඇමරිකානු සමාගමට පැවරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුම ඇමරිකානු සමාගම සමග අත්සන් කොට තිබෙනවා. එම බලාගාරය අසන්නයේ එහිම දිගුවක් ලෙස තවත් මෙගා වොට් 300ක එල්එන්ජී බලාගාරයක් ඉදිකෙරෙමින් තිබෙනවා. එයත් යුගදනවි බලාගාරයටම අයත් කොටසක්. ඒ අනුව මුළු ධාරිතාව මෙ.වො. 600ක් වනවා. 2025 වන විට මෙම බලාගාර පද්ධතිය මෙ.වො. 1000 දක්වා වැඩි කිරීමට සැලසුමක් තිබෙනවා. ඒ අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාරය ලංකාවේ විශාලතම බලාගාරය බවට පත් වීමට නියමිතයි. ඇමරිකානු සමාගමට පවරා දීමට උත්සාහ කරනු ලබන්නේ එම බලාගාරයෙන් 40%ක්. විදුලි බල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව 2035 වර්ෂය වන විට රාජ්‍ය සමාගම්වලට අයිතිව තිබෙන යුගදනවි බලාගාරය මුළුමනින්ම විදුලි බල මණ්ඩලයට අයිති විය යුතුව තිබුණා. මේ දේශප්‍රේමී සළුපිළි පටලවා ගෙන පැමිණ, දේශප්‍රේමී ගොරනාඩුවක් කළ, ඇමරිකානු පුරවැසියන්ගෙන් ගහණ මේ ආණ්ඩුව-ඇමරිකානු පුරවැසි මුදල් ඇමතිවරුන් විසින් විශාලතම බලාගාරය ඇමරිකාවට පවරා දීමට කටයුතු කරමින් සිටින්නේ මෙවැනි තත්වයක් තිබියෙදීයි.
එමෙන්ම මේ සඳහා ගෑස් නළ පද්ධතියක් ඉදිකිරීම සඳහා විදුලි බල අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරනු ලැබ තිබුණා. මේ සඳහා වන එස්එෆ්ආර් යුනිට් එකක් – පාවෙන ගෑස් ගබඩා සංකීර්ණයක් – වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබුණා. ඒ මේ වසරේ මුල් භාගයේදීයි. එම ටෙන්ඩරය අවසන් කළේ පසුගිය ජුනි 25වැනිදායි. ඒ ටෙන්ඩරය වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩලයක් බඳවා ගනු ලැබුවා. වෙනම කාර්යාලයක් ආරම්භ කළා. මෙය ජාත්‍යන්තර ටෙන්ඩරයක් මෙන්ම අපේ රටේ වැදගත් ඉදිකිරීමක් වූවා. මෙයට කෙරවලපිටිය මෙන්ම අපේ රටේ සියලු ගෑස් බලාගාර වෙනුවෙන් ගෑස් සැපයීම භාරවනවා. ආණ්ඩුව සියලු ඩීසල් බලාගාර, එල්එන්ජී ස්වභාවික ගෑස් බලාගාර බවට පරිවර්තනය කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා. ඒ සඳහා අවශ්‍ය වන නල පද්ධතිය ඉදිකිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවා තිබුණා. නැවෙන් ගන්නා ගෑස් ගබඩා කිරීම සඳහා පාවෙන ගබඩා සංකීරණයකටද ටෙන්ඩර් කැඳවා තිබුණා. එම ටෙන්ඩරය අවසන් කර තිබියෙදී කෙරවලපිටිය ඉදිකිරීම් ලබා දෙන ඇමරිකානු ෆෝට්ට්‍රස් සමාගමටම එම ඉදිකිරීම් දෙකද ලබා දීමට මෙම කැබිනට් පත්‍රිකාව මගින් කටයුතු කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වන ගෑස් මාසිකව හෝ වාර්ෂිකව ටෙන්ඩර් මගින් ලබා ගත යුතු තිබුණත් එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05ක කාලයකට මෙම ඇමරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ලබා දී තිබෙනවා. ටෙන්ඩර් කැඳවා තිබෙන පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීමද, නල පද්ධති ඉදිකිරීමද මෙම සමාගමට ලබා දී තිබෙනවා. කෙරවලපිටිය බලාගාරයේ 40%ක කොටස්ද ඊට ලබාදී තිබෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම කැබිනට් පත්‍රිකාවක් සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වන්නේ නම් අවම වශයෙන් සිකුරාදා වන විටවත් ඇමතිවරුන් අතට කැබිනට් පත්‍රිකා ලැබෙනවා. කෙසේ වුවත් මේ කැබිනට් පත්‍රිකාව එසේ ලැබුණේ නැහැ. ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට යනවිට මේ පත්‍රිකාව අතිරේක පත්‍රිකාවක් ලෙස මේසය මත තබා තිබුණා. මෙය විදුලි බල විෂයට අයත්. මා දැනගන්න කැමතියි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගෙන්, මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වන බව ඔබ දැනසිටියාද? ඔබව ඒ පිළිබඳව දැනුවත් කර තිබුණාද? මා දන්නා පරිදි නම් ඔහු පවා මේ පත්‍රිකාව දකින්නේ ඊට වාඩි වූවාට පසුවයි. ඕනෑම කැබිනට් පත්‍රිකාවකට, විශේෂයෙන් ඒ විෂයට අදාළ අමාත්‍යවරුන්ට ඊට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙනවා. මෙය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නිසා විදුලි බල අමාත්‍යවරයාටත්, ඛනිජ තෙල් අමාත්‍යවරයාටත් නිරීක්ෂණ ලබා දීම සඳහා කාලයක් ලබා දුන්නා. ඔවුන් කාලයක් ඉල්ලා තිබුණා. ඒ මොහොතේම ඔවුන්ට නිරීක්ෂණ ලබා දෙන ලෙස කියා තිබෙනවා. මේ කඩිමුඩිය කුමක් සඳහාද? කොළේ වසා ගැසීමේ තේරුම කුමක්ද? ඒ අනුව පැය 24ක කාලයක් ලබා දී තිබෙනවා. ඔවුන් නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබුවත් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවම අනුමත කරනු ලබනවා.
මේ ආණ්ඩුව රටේ සම්පත් විකුණන්න කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
RELATED ARTICLES