25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගුරු විදුහල්පති ගැටලුවලට ලබන සඳුදා විසඳුමක් දෙන බව අග්‍රාමාත්‍ය විශ්වාසය පළකරයි.

ගුරු විදුහල්පති ගැටලුවලට ලබන සඳුදා විසඳුමක් දෙන බව අග්‍රාමාත්‍ය විශ්වාසය පළකරයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සහ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයන් සමඟ පැවති සකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සුදානම් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරු විදුහල්පති වෘත්තිය සංගම්වෙත අද දින දැනුම් දුන්නේය.

වසර විසිහතරක් පුරා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පැවතිය ද මෙතෙක් සාධාරණ විසදුමක් නොලැබුණු බවත්, රටේ පවතින ආර්ථීක අර්බුධය පිළිබඳ පැහැදිලි අවබෝධයක තමන් සිටින බැවින් එක වර වැටුප් වැඩිකිරීමක් සිදු කළ නොහැකි වුවද වැටුප් විෂමතාව අවම කිරීම සඳහා සුබෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කඩිනමින් කටයුතු කරන්නැයි ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයෝ මෙහි දී ඉල්ලා සිටියහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී මෙසේ සඳහන් කළේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ පැහැදිලි අවබෝධයක මම ඉන්නවා. වැටුප් විෂමතාව අවම කිරීම අවශ්‍ය බවත් අපි රජයක් ලෙස පිළිගන්නවා. නමුත් රටේ පවතින තත්ත්වයත් ගෝලීය තත්ත්වයත් සමඟ රටේ ආර්ථීකය ඉතාමත් පහළ මට්ටමක පවතින නිසා ඉතා ඉක්මනින් වැටුප් ඉහළ දැමීමක් කිරීමට රජයට හැකියාවක් නොමැති බව ඔබ හොඳින් දන්නවා. අධ්‍යාපන අමාත්‍යතුමා පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට ඔබේ ගැටලු පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මම කැබිනට් මණ්ඩලයේ දී ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙම ගැටලුව නිරාකරණය කිරීමට අපි සූදානම්. කෙසේ වෙතත් වැටුප් කොමිසම සමග සාකච්ඡා කර වැටුප් ගෙවීම පිළිබද තීරණයකට එළැඹිය යුතුයැයි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

සමාජ මාධ්‍ය තුළ විවිධ පත්‍රිකා සංසරණය වන බව පෙන්වා දුන් වෘත්තීය සමිති නියෝජිතයෝ වැටුප් විෂමතාව සම්බන්ධව සුබෝධනී වාර්තාවට වෘත්තීය සමිති එකගතාව පළ කරන බවත් එහි අන්තර්ගතය කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇත්දැයි තමන් නොදන්නා බවත් ප්‍රකාශ කළහ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු, කැබිනට් මන්ඩලය අනුමත කළ කැබිනට් තීරණ මෙන්ම සුබෝධනී වාර්තාවද පාදක කරගනිමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන බව ඊට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.

ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීමේ අරමුණ අනෙකුත් රාජ්‍ය සේවාවන්ගේ වැටුප් තල කෙරෙහි බල නොපාන පරිදි ගුරු විදුහල්පති වැටුප් විෂමතාව අවම කිරීම බවත් මේ වන විටත් ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇතිබවත්, ඒ පිළිබඳව මාස කිහිපයක් අධ්‍යයනය කර සකස් කළ කෙටුම්පතක් ඉදිරිපත් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ආණ්ඩු පහක කාලයක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධව අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම පිළිබඳව මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ස්තුතිය පළ කළහ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, රමේෂ් පතිරණ, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, ලසන්ත අලගියවන්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එම්. උපාලි සේදර මහත්වරු ඇතුළු ගුරු විදුහල්පති සේවාව නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතවරු එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments