වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛාවේ රුපියල් ලක්ෂ හැටක් වටිනා සීනී මෙට්‍රික් ටොන් 37ක සොරකමක් සම්බන්ධයෙන් එම ශාඛා කළමණාකාරිණිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ සතොස අළෙවිසැල් ජාලය හරහා සීනි අවම මිළ ගණන් යටතේ පාරිභෝගික ජනතාවට ලබා දීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු සලසනු ලැබීය.
වෙන්නප්පුව කොස්ගස් හන්දිය සතොස ශාඛාව සාමාන්‍යයෙන් මසකට සීනි මෙට්‍රික් ටොන් 4ක් අළෙවි කරනු ලබන අතර පසුගිය සඳුදා මෙම ශාඛාවේ කළමණාකාරණිය සාමාන්‍ය ඇණවුමට වඩා වැඩි සීනි ඇණවුමක් සතොස වැලිසර තොග ගබඩාවට යොමු කර තිබේ.
වැලිසර සතොස තොග ගබඩාව මඟින් අදාළ ඇණවුම ප්‍රවාහනය කරන ලද ලොරියේ පැවති සමස්ත සීනි තොගයම, ශාඛා ගබඩාවට ලබා ගැනීමකින් තොරව තුන්වන පාර්ශවයකට අයත් ලොරි රථයකට පටවා වෙනත් අළෙවිසැලක් කරා රැගෙන යමින් තිබියදී සතොස විශේෂ විමර්ශන ඒකකය මඟින් වෙන්නප්පුව පොලීසිය වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුව වැටලීම් සිදු කොට තිබේ. ඒ අනුව මෙම සීනි වංචාව සම්බන්ධයෙන් වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛා කළමණාකාරිණිය අත්අඩංගුවට ගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික් කලාප කළමණාකරු සහ වැලිසර ගබඩා සංකිර්ණයේ භාරකරුගේ වැඩ තහනම් කිරීම සිදු කර ඇත. ඔහුන් දෙදෙනා අත්අඩංගුවට ගැනිම සදහා පොලිසි වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.