දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ ගුණ සමරා විශේෂ ගුණසැමරුම් උත්සව මාලාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ගජබා රෙජිමේන්තුවෙන් සංවිධානය කර තිබුණි.
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමඟ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී ඇටවූ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්ආර් ස්ටෙපන්, ලුතිනන් කර්නල් ජී.එච්. ආරියරත්න, ලුතිතතන් කර්නල් වයි.එන්. පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලීන් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර, සාමාන්‍ය සෙබළ ඩබ්.ජේ. වික්‍රමසිංහ , 1992 අගෝස්තු 08 වැනිදා ජීවිතක්ෂයට පත්වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත්ම රෙජිමේන්තුවක්වන ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘවරයාවන මේජර් ජෙනරල් විජය විමලරත්න සහ දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් අගෝස්තු 08 දින උදෑසන කිරිපිඩු දානයක් ඓතිහාසික රුවන්වැලිසෑය අභියස දී පැවැත් විය. එසේම කිරිබත්ගොඩ නගර මධ්‍යයේ සහ සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මේජෙර් ජෙනරල් විජය විමලරත්න පිළිරුවට සහ රනවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. එසේම ගුණානුස්මරණ උත්සවයට සමගාමීව ඉකිරිගොල්ලෑව රජමහා විහාරයේ සහ මාංකඩවල රජමහාවිහාරයේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක්ද පැවැත්විණ. ඉන් අනතුරු සන්ධ්‍යාවේ ඓතිහාසික අටමස්ථානය පදනම් කරගමින් ගිලන්පස පූජාවක්ද පැවැතිවිණ.මෙම අවස්ථාවන්ට 21වන සේනාංකයේ සේනංකාධිපති මේජර් මොහාන් රත්නායක, ගජබා රෙජිමේන්තුවේ සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම ,බ්‍රිගේඩියර් ලාල් විජේතුංග, බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු , ඇතුළු ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පූර්ණ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සහභාගී වූහ.