සටහන : අනුර බී. සෙනෙවිරත්න
ඇමෙරිකානු අත පෙවීම්වලට එරෙහිව කියුබානු රජයට සහාය දක්වමින් චීනය මෑතක දී නිකුත් කරන ලද ප්‍රකාශය අගය කරමින් මෙරට ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය නිවේදනයක් නිකුත්කර තිබේ.
ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක මහතාගේ අත්සනින් ඉංග්‍රීසි බසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
‘ කියුබානු ජනාධිපති මිග්‍යුවෙල් ඩයස්-කැනල්ගේ නායකත්වයෙන් යුත් කියුබානු රාජ්‍යයට සහාය දක්වමින් චීනය විසින් මෑතක දී නිකුත් කරන ලද ප්‍රකාශය මෙරට ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී හැඟීම් නියෝජනය කරන ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමය ඉතා ඉහළින් අගය කර සිටී.
කියුබාවේ කලහකාරීන් පිරිසක් විසින් මෑතක දී සිදු කරන ලද ආණ්ඩු විරෝධී විරෝධතා මූලික කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදය කියා සිටියේ, “කියුබානු රජයේ සහ එරට ජනතාවගේ සමාජ ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා දරන උත්සාහයට චීනය දැඩි ලෙස සහයෝගය දක්වන හෙයින්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණුවලට සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන්ට අනුව එක්සත් ජනපදය වහාම කියුබාවට එරෙහි ඒකපාර්ශ්වීය සම්බාධක සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතු” බව ය.
කියුබාවේ අභ්‍යන්තර කටයුතුවලට සිදුකෙරෙන විදේශීය ඇඟිලි ගැසීම්වලට චීනය තදින් ම විරුද්ධ ය. කොවිඩ් -19 ට එරෙහිව සටන් කිරීමට කියුබාව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට මුළුමනින් ම සහයෝගය දක්වන චීනය, කියුබානු ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා එරට ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කිරීමේ දී ස්ථිරව ම සහාය දක්වයි.
ප්‍රකාශකයෙකු වන ෂාවෝ ලිජියන් මේ සම්බන්ධයෙන් පැවසුවේ, රාජ්‍ය නායකයින් දෙදෙනාගේ වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීම සඳහා කියුබාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින්ව සිටින බවත්, දෙරට අතර මිත්‍ර සබඳතා ගැඹුරු කර ගැනීමට දැඩි ලෙස කැපවී සිටින බවත් ය.
1993 නොවැම්බරයේ දී සහ 2001 අප්‍රේල් මාසයේ දී ජනාධිපති ජියැං සෙමින් කියුබාවට පැමිණීමෙන් පසු චීන සහ කියුබානු රාජ්‍ය නායකයින් අතර ඓතිහාසික
එකඟතාවක් ඇති වූ අතර, වත්මන් කියුබානු ජනාධිපතිවරයා ද පසුව චීනයේ සංචාරයක් සඳහා එක්වී ය
ශ්‍රී ලංකා, කියුබා සහ චීන ජනතාව අධිරාජ්‍ය විරෝධී, අධිපති විරෝධී හැඟීම්වලින් යුත් දැඩි බැඳීමකින් වෙලී සිටිති. මහා කියුබානු විප්ලවය ජයග්‍රහණය කළ විගස ශ්‍රී ලංකාව එම නව රජය පිළිගෙන 1959 ජූලි 29 දින කියුබාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත්තේ ය.
1976 දී පස්වන නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ විට, ශ්‍රී ලංකා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනයෙන් කියුබානු උප ජනාධිපතිවරයා පැමිණ ඊට සහභාගී වූ අතර, 1979 හවානා හි පැවති 6 වන නොබැඳි ජාතීන්ගේ සමුළුවට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහභාගී වී ය.
කියුබානු රජයට එරෙහි ඇමෙරිකානු ආර්ථික සම්බාධක මෙන් ම, ඇමෙරිකා එක්සත් ජනපදයේ ආක්‍රමණශීලී පියවර, ඇමෙරිකානු ඔත්තු බැලීම් සහ ඇමෙරිකානු මුදල් යොදවා අවුලුවන ලද කැරලි කෝලාහල ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය දැඩි ලෙස හෙළා දකී.
ශ්‍රේෂ්ඨ විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ, ජනාධිපති මිගෙල් ඩයස්-කැනල්ගේ නායකත්වයෙන් යුත් කියුබානු රජය සහ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ විප්ලවවාදී ස්වභාවයට අපි කොන්දේසි විරහිතව සහයෝගය දක්වන්නෙමු. 1903 සිට කියුබාවේ ස්වාධීනත්වයට තර්ජනයක් වන කියුබාවේ රැඳී සිටි එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීම සඳහා වූ කොන්දේසි හත පිළිගැනීමට ලක්කරන
ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා ‘ප්ලාට්’ සංශෝධනය ඉවත් කර ගන්නා ලෙසත්, ග්වාන්ටනාමෝවේ අල්ලා ගත් කලාපය ආපසු කියුබාවට ලබා දෙන ලෙසත් ඇමෙරිකාවට අපි බලකරමු.෴