පරිවර්තනය : අනුර බී. සෙනෙවිරත්න
නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ ”නිව් වර්ල්ඩ්’ නමැති තීරු ලිපිය රචනා කරන
නිදහස් මාධ්‍යවේදිනී – ලී යුවාන්ර චීනයේ තරුණ තරුණියන් වැඩි පිරිසක්
මහජන චීන සමූහාණ්ඩුවේ සභාපති මාඕ සේතුං සහෝදරයාගේ ධනපතියන්ට එරෙහි අරගලය සහ ප්‍රචණ්ඩත්වය සඳහා වූ ඉගැන්ව්ම්වලට ආකර්ශනය වෙමින් සිටිති. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු තමන්ට ලැබිය යුතු අවස්ථාවන් අහිමිවීම සහ වැඩි කාලයක් වැඩකරන්නට සිදුවීමෙන් කලකිරීමට පත්ව සිටින තරුණ තරුණියන් ය.
ඔවුහු, පුස්තකාලවල දී ත්, උමං දුම්රියවල දී ත් මාඕ සේතුං කියවති. ඔහුගේ කෘති වෙනුවෙන් වෙන් වූ ‘අන්තර්ජාල පොත් සමාජ’ සංවිධානය කරති. මාඕ සේතුංගේ විප්ලවීය චින්තනයේ මහිමය ලොව පුරා ප්‍රචාරය කරමින් ඔවුහු පැය ගණන් ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් අන්තර්ජාලයට මුදාහරිමින් සිටිති.
සභාපති මාඕ සේතුං චීනයේ නව පරම්පරාව අතරට නැවත පැමිණෙමින් සිටී. කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර නායකයා වන ඔහු, දශක ගණනාවක් වූ එම අඛණ්ඩ දේශපාලන ව්‍යාපාරය මගින් මිලියන ගණනාවක් ජනතාවගේ ජීවිතවලට ඉහළ වටිනාකමක් ලබා දුන්නේ ය.
1976 සිදුවූ ඔහුගේ මරණයෙන් බොහෝ කලකට පසු නැවත චීනයේ උපත ලැබ සිටින ඔහු, මේ වනවිට අතෘප්තියට පත්ව සිටින ජනතාව දිරිගැන්වීමටත්, ඔවුන්ට සැනසීම ලබාදීමටත් සිය ඉගැන්වීම් හරහා මග පෙන්වමින් සිටී. ඒ නිසා, ඔවුන්ට, මාඕ සේතුං වීරයෙකි. ඔවුන් තම බලාපොරොත්තු සුන්වීම ගැන කතා කරන්නේ අනෙක් අය සමඟ වාදවලට පවා පැටලෙමිනි.
නූතන චීනය තුළ දිනෙන් දින පුළුල් වන සමාජ අසමානතාව සමඟ පොරබදමින් සිටින බොහෝ තරුණ තරුණියෝ එරට ව්‍යාපාරික පන්තිය තමන් සූරාකමින් සිටින බව විශ්වාස කරති. එහෙයින්, එම ව්‍යාපාරික පන්තිය කෙරෙහි ඔවුන් දක්වන කෝපය මාඕගේ වචන විසින් සාධාරණීකරණය කරනු ලබයි. මාඕගේ අඩිපාරේ යමින් චීන සමාජය වෙනස් කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබේ. අවශ්‍ය වන්නේ නම් මේ සඳහා ධනේශ්වර පන්තියට එරෙහි ප්‍රචණ්ඩත්වයක් ගැන පවා සමහරු කතා කරති.
පසුගිය සතියේ ශත සංවත්සරය සමරනු ලැබූ චීන කොමියුනිස්ට් පක්ෂය මුහුණ දී ඇති පරස්පර විරෝධී යථාර්ථය මෙම මාඕ හිතවාදීහු පෙන්නා දෙමින් සිටිති. ජනාධිපති ෂී ජින් පිං යටතේ චීන ජන ජීවිතයේ සෑම අංශයක ම පාහේ චීන කොමියුනිස්ට් පක්ෂය කේන්ද්‍රගත වී තිබේ. රට ලබා ඇති ආර්ථික ප්‍රගතිය සඳහා එම පක්ෂයට එහි ගෞරවය හිමිවන අතර, ඒ වෙනුවෙන් කෘතඥ වන ලෙස පක්ෂය චීන ජනතාවට පවසයි.
ඒ අතරම, එරට ආර්ථික වර්ධනය දුර්වල වෙමින් පවතින අතර, තරුණ තරුණියන්ට ලැබිය යුතු අවස්ථාවන් ද හීන වෙමින් තිබෙි. වර්ධනය වන මූල්‍ය පරතරය, නිවාස පහසුකම් නොමැතිවීම සහ ශ්‍රමිකයන්ට ඇති අනාරක්ෂිත බව පිළිබඳව පක්ෂයට චෝදනා කරන කිසිවකු නොමැති තත්ත්වයක ඒ බව පෙන්නාදුන් මෙම නව පරපුරේ මාඕවාදීන් සැනසීමට හෝ හීලෑ කිරීමට ක්‍රමයක් පක්ෂය ඉක්මනින් සොයා ගත යුතු ය. එසේ නොමැති වුවහොත්, එය පාලනය කරන්නට යාමේ දී විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට පක්ෂයට සිදුවනු ඇත.
“මෙම බෙදී ගිය සමාජය තුළ වෙසෙන නව පරම්පරාව අතරමං වී සිටිති. එබැවින්, ඔවුන් ගැටලුවලට පිළිතුරු සොයනු ඇත. අවසානයේ දී, ඔවුන් අනිවාර්යයෙන් ම සභාපති මාඕ සොයාගනු ඇත.” යනුවෙන් මාඕවාදී බ්ලොග්කරුවෙකු වරෙක ලියා තිබිණි.
සම්මුඛ සාකච්ඡා සහ සමාජ ජාලා අදහස් දැක්වීම්වල දී ද, බොහෝ යෞවන යෞවනියන් කියා සිටියේ, චීන ජන සමාජය පිළිබඳ මාඕගේ විශ්ලේෂණයට සම්බන්ධ විය හැක්කේ, පීඩිතයන් සහ ඔවුන්ගේ පීඩකයන් අතර පවත්නා නිරන්තර පන්ති අරගලයක් ලෙස බව ය.
“බොහෝ යෞවනයන් මෙන් මමත්, රටේ අනාගතය ගැන සුබවාදීව ඉන්නවා. නමුත්, මගේ ම දේවල් ගැනත් විටෙක මා සිටින්නේ අසුබවාදීව යි. කුඩා නගරයක සිටින මා වැනි තරුණ තරුණියන්ට මාඕගේ ලිවීම් අධ්‍යාත්මික සහනයක් ලබා දෙනවා.” චීනයේ තාක්‍ෂණික නගරයක් වන ‘ෂෙන්සෙන්’ හි වෙසෙන බ්ලොක් අඩවියක ආරම්භක සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කළ, තම අවසන් රැකියාව ගැන කලකිරී ඉන් පීඩා විඳින 23 හැවිරිදි ඩු යූ නම් තරුණයා එසේ පැවසී ය.
චීන තාක්‍ෂණ සේවකයෝ බොහෝ විට සතියේ දින හයක් උදේ 9 සිට රාත්‍රී 9 දක්වා එකදිගට වැඩ කරති. ඔවුන්ට එය සාමාන්‍ය දෙයක් වන අතර, ඔවුන් එය හඳුන්වන්නේ “996” ලෙස ය. එහෙත්, ඉහත තරුණයාගේ කාලසටහන ඊටත් වඩා ඉතාමත් නරක ය.
පසුගිය වසරේ අගභාගයේ දින තුනක් පුරා ඔහු නිදාගෙන තිබෙන්නේ, පැය පහක කාලයක් පමණි. එයින් ඔහුගේ හහෘදස්පන්දනය වේගවත් වී ඔහුගේ හුස්ම හිරවී ඇති අතර, ඔහු දුර්වල තත්ත්වයට පත් වී ඇත. ඉන් ටික කලකට පසු රැකියාවෙන් ඉවත් වූ ඔහු මාස තුනකින් කිසිදු රැකියාවක යෙදී නැති අතර, කලාතුරකින් යම් යම් තාවකාලික රැකියාවල යෙදෙමින් සිටී. ඔහු පත්ව සිටින මෙම මානසික අවපීඩනය තත්ත්වය වෛද්‍යවරුන් විසින් ද හඳුනාගනු ලැබ තිබෙි.
“මා දන්නා මගේ සම වයසේ බොහෝ දෙනෙකුට තවමත් අවශ්‍යව තිබෙන්නේ ජීවිතය සාර්ථක කරගැනීමට යි. සාමාන්‍යයෙන් අපි සූරාකෑමට වගේ ම, තේරුමක් නැති අරගලවලටත් විරුද්ධ යි” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේ ය.
කිසි විටෙකත් සමාජවාදයෙන් බැහැර නොගිය මාඕ, වරක් එහි රටාව පමණක් වෙනස් කළේ ය. 1980 ගණන්වල දී එරට නිදහස සහ නිදහස් වෙළඳපොල අවුල් සහගත තත්ත්වයට පත්වීමත් සමඟ චීන යෞවනයන් ෆ්‍රෙඩ්රික් නීට්ෂේ, ජීන්-පෝල් සාත්‍රේ සහ මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ කෘතීන් වෙත යොමුවන්නට වී ය.
පාසල් අධ්‍යාපනයේ දී මාඕ ගැන ඉගෙන ගැනීම අනිවාර්යය කරුණක් වුව ද, බොහෝ ශිෂ්‍යයෝ එම පාඩම් පිළිකෙව් කළෝ ය. 1989 ටියැන්මන් චතුරශ්‍රයේ සිදුවූ කුරිරු මර්දනයෙන් පසුව සටන් ජවනිකා ඇතුළත් නවකතා සහ සාර්ථක ව්‍යවසායකයන් විසින් ලියන ලද පොත් බෙහෙවින් අලෙවිවන්නට වී ය.
නමුත්, චීනය නැවත මාඕ පුනරුදයක් සඳහා සුදුසු සාරවත් භූමියක් බවට පත්වෙමින් තිබේ. නාමික වශයෙන් සමාජවාදී රටක් වන චීනය ලෝකයේ වඩාත් ම අසමානතාව ඇති රටකි. චීන ජාතිකයන් මිලියන 600 ක් හෙවත්, එරට ජනගහනයෙන් සියයට 43 ක් පමණ මාසික ආදායම ලෙස උපයන්නේ ඩොලර් 150 ක පමණ සොච්චම් මුදලකි.
බොහෝ යෞවනයන් විශ්වාස කරන්නේ එරට මධ්‍යම පංතියට ඇතුළුවීමට හෝ තම දෙමාපියන්ට වඩා දියුණු වීමට තමන්ට නොහැකි වන බව ය. සමාජ සංචලතාව ඉහළ මට්ටමක නොමැතිවීම එරට ධනේශ්වර පංතියට දරාගත නොහැකි යැයි විශ්වාස කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ පාරිශුද්ධභාවය පිළිබඳව ඔවුහු ප්‍රශ්න කරමින් සිටිති.
පක්ෂයේ එදිනෙදා කටයුතුවල දී සිදුවන වර්ධනයන් ද, මාඕවාදයට දොරටු විවර කර තිබේ. ජනාධිපති ෂී ජින් පිං යටතේ සිදුව ඇති ඉගැන්වීම තීව්‍ර කිරීම තරුණ තරුණියන් වඩාත් ජාතිකවාදී මෙන් ම, කොමියුනිස්ට් දෘෂ්ටිවාදයේ ගිල්ලවීමට හේතු වී තිබේ.
එක් මාර්ගගත (online) සටන් පාඨයක “‘රට වෙනුවෙන් මැරෙන්නේ ද? – ඔව් !” යනුවෙන් සඳහන් වන අතර, “ධනපතියන් වෙනුවෙන් මිය යන්නේ ද? – කවදාවත් නැහැ! ” යනුවෙන් තවත් එකක සඳහන් වෙයි.
තරුණ-තරුණියන් අතර ඇති මෙම නව ඉගැන්වීම් විසින් මෙම මාඕ-හිතකාමී මනස නිර්මාණය කරනු ලබයි. වැටුප් වැඩි නොවී එකතැන නතරවීමත් සමඟ “පරිභෝජනය පහත හෙලීම” ගැන තරුණ තරුණියෝ කතා කරමින් සිටිති. ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන ඔවුන්ගේ සේවා යෝජකයන් විසින් මෙම තරුණ තරුණියන් හඳුන්වනු ලබන්නේ “වැටුප් වහලුන්”, “ආයතනික ගවයන්” සහ “අතිකාල සුනඛයන්” ලෙස ය.
.”මාඕ සේතුංගේ තෝරාගත් කෘති” වෙළුම් පහ යළිත් ජනප්‍රිය කිරීමට එම ආකල්ප උපකාරී වී තිබේ. විලාසිතාවලින් සැරසී උමං මාර්ගවල, ගුවන්තොටුපලවල සහ ආපනශාලාවල පොත් කියවමින් සිටින තරුණ තරුණියන්ගේ ඡායාරූප අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් තිබේ. බීජිං හි සිංහුවා විශ්වවිද්‍යාල පුස්තකාලයේ WeChat නිල ගිණුමට අනුව, 2019 සහ 2020 යන වර්ෂ දෙකේ දී අන් වසරවලට වඩා වැඩි ප්‍රමාණයක් පුස්තකාල පොත් සිසුන් විසින් පරිහරණය කර තිබේ.
පොත්, චිත්‍රපට සහ වෙනත් මාධ්‍ය කෙරෙහි අවධානය යොමු කරන ‘ඩුබාන්’ නම් චීන සමාජ මාධ්‍ය සේවාවක සටහනක් තබන මුකැන්චෙං නම් තරුණ බ්ලොග්කරුවෙක් මෙසේ පවසයි.
“අනාගතයේ දී මම ‘මාඕගේ තෝරාගත් කෘති’ නැවත නැවතත් කියවමි. අඳුරේ අතපත ගාන පුද්ගලයෙකුට ආලෝකය ලබාදීමට එහි බලයක් ඇත. එය මගේ දුර්වල ආත්මය ශක්තිමත් කරන අතර, මගේ පටු ලෝක දෘෂ්ටිය පුළුල් කරයි.”
සිය සැබෑ නම හෙළිකිරීම ප්‍රතික්ෂේප කළ මුකැන්චෙන්, “Left Left” නමින් ඊමේල් ගිණුමක් භාවිත කරයි. එහි ආලේඛ්‍ය ඡායාරූපය (profile picture) සඳහා ඔහු යොදාගෙන ඇත්තේ, රතු පැහැති මාඕ ලාංඡනයකි. පෝස්ටු පළ කිරීමේ දී ඔහු සැලකිලිමත් වන්නේ ඌරු මස් මිල වැඩිකම ගැන සහ තම දුරකථන බිල් සඳහා ඇති මුදල් හිඟකම ගැන පෝස්ටු පළකිරීමට යි. 2018 දී ෂැංහයි හි පැවති කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනයේ වෙබ් අඩවියට ගිය ඔහු එහි අමුත්තන්ගේ පොතෙහි මාඕ උපුටා දක්වමින් සඳහන් කළේ, “කිසි විටෙකත් පන්ති අරගලය අමතක නොකරන්න!” යනුවෙනි.
“තෝරාගත් කෘති” ගැන අන්තර්ජාලය ඔස්සේ අදහස් දක්වන තවත් අය කියා සිටියේ, එක්දහස් නමසිය ගණන්වල මුල් භාගයේ දී එවකට පීකිං ලෙස හැඳින්වූ සංවර්ධනය නොවූ විශාල නගරය ගොඩනැගීමට උත්සාහ දැරූ උගත් ගැමි තරුණයෙකු වූ ලෙස තමන් තරුණ මාඕ දුටු බව ය. ඔවුන් සාමාන්‍යයෙන් මාඕව හඳුන්වන්නේ “ගුරුවරයා” යනුවෙනි.
සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝදෙනෙක් මාඕගේ ‘තෝරාගත් කෘති’ පළමු වෙළුමේ පළමු වාක්‍යය උපුටා දැක්වීමට දැඩි කැමත්තක් දක්වති. “අපේ සතුරෝ කවුද? අපේ මිතුරෝ කවුද? මෙය විප්ලවයේ ඇති පළමු වැදගත්කම පිළිබඳ ප්‍රශ්නය යි.” යනුවෙන් මාඕ එසේ ලීවේ 1925 දී ය.
බොහෝ අය පවසන්නේ ඔවුන්ගේ ලොකු ම සතුරන් වන්නේ ඔවුන් සූරාකන ධනපතියන් බව යි. ඔවුන්ගේ කෝපයේ ලොකු ම ඉලක්කය බවට පත්ව තිබෙන්නේ ‘අලිබබා’ ඊ-වානිජ අධිරාජ්‍යයේ සම නිර්මාතෘ ජැක් මා ය. චීන සිහිනයේ ප්‍රතිමූර්තිය තමා යැයි ඔහු වරක් ප්‍රීතිඝෝෂා කළේ ය. 996 වැඩ සංස්කෘතියට සහාය දක්වන ජැක්මාගේ අදහස් චීන තරුණ තරුණියෝ දැන් විහිළුවට ලක් කරමින් සිටිති.
19 හැවිරිදි සූ යැං පැවසුවේ “ ඔහු වැනි අයට කම්කරුවන් යනු මුදල් ඉපැයීමේ මෙවලම් පමණක් බවත්, එවැන්නන් ශාරීරිකව මෙන් ම, අධ්‍යාත්මිකව ද තුරන් කළ යුතු.” බව ය. තම ප්‍රකාශය ආපසු හරවා ගනිමින් ජැක්මා කියා සිටියේ “තම රැකියාව කෙරෙහි ඇති ආදරය නිසා දිගු වේලාවක් වැඩ කරන කම්කරුවන්ට පමණක් උපහාර දැක්වීම සුදුසු” බව ය.
දකුණු ෂෙජියැන්ග් පළාතේ උසස් පාසැලක උපාධිධාරියෙකු වන ෂු මහතා, කියා සිටියේ, චීනය වඩා හොඳට වෙනස් කිරීමට අවශ්‍ය නිසා තමා මාඕ කියවූ බව ය. ඔහුගේ ‘ඩුබාන්’ ගිණුමේ ඇති ආලේඛ්‍ය චිත්‍රය මාක්ස්, එංගල්ස්, ලෙනින්, ස්ටාලින් සහ මාඕගේ සේයාරූ සහිත “මාක්ස්වාදය-ලෙනින්වාදය සහ මාඕ සේතුංගේ සිතුවිලි දිගු කල් පවතීවා!” යන සටන් පාඨය සඳහන් පැරණි පෝස්ටරයකි.
මාඕවාදී තරුණයන් තුළ ඇතිව තිබෙන මෙම විරෝධය ධනවාදී පන්තියෙන් නතර නොවේ. සමාජ අසමානතාවය මෙතරම් ගැඹුරු කිරීමට පක්ෂය ඉඩ දුන්නේ මන්දැයි රැඩිකල්වාදීහු ප්‍රශ්න කරති.
“නිර්ධන පංතිය විප්ලවය ජය ගත්තේ නැද්ද?. නිර්ධන පංති ආඥාදායකත්වයේ ඉලක්කයන් ඉහළින් තිබිය දී රටේ ස්වාමිවරුන් දැන් පහළින් සිටින්නේ ඇයි? මොකක්ද සිද්ධවෙලා තියෙන වැරැද්ද ? ” ෂූ මහතා ප්‍රශ්න කළේ ය.
පසුගිය වසරේ පංතියේ මිතුරෙකු ඔහුට මාඕගේ පොත් හඳුන්වා දීමෙන් පසු ෂු මහතා, වාරණය කරන ලද වෙබ් අඩවි නැරඹීම සඳහා වන මෘදුකාංගයක් භාවිත කරමින් චීනය පිළිබඳ නරක තොරතුරු සොයා බැලී ය. කම්කරු සංගම් සංවිධානය කිරීම සඳහා කම්කරුවන්ට උපකාර කිරීමට තරුණ මාක්ස්වාදී ක්‍රියාකාරීන් දැරූ උත්සාහය චීන රජය බිඳ දැමූ ආකාරයත්, වඩා හොඳ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තම සම වයසේ මිතුරන් සංවිධානය කළ ආහාර බෙදා හැරීමේ සේවකයෙකු අත්අඩංගුවට ගත් ආකාරයත් ඔහු එමගින් ඉගෙන ගත්තේ ය.
“නිලධාරිවාදය සහ ප්‍රාග්ධනය බෙහෙවින් ඒකාබද්ධ වී තිබේ. එහෙයින්, අපගේ කැරැල්ල ධනපතියන් අතර නතර නොවනු ඇත.” ඔහු පැවසී ය.
තීව්‍රවන මෙම තරුණ හැඟීම් ගැන රජය සැලකිලිමත් වී ඇති අතර, සමහර මාඕවාදී පෝස්ටු හා සාකච්ඡා තහනම් කිරීමට පටන් ගෙන තිබේ. ‘මාඕගේ විප්ලවය අද චීනය තුළ සාර්ථක වීමට නොහැකි වූයේ මන්දැයි’ යන්න පුළුල් ලෙස විශ්ලේෂණය වූ ලිපියක් සංසරණය වූ අතර, එය රජයේ නිරීක්ෂණ සහ පසුබිම් පරීක්ෂාව නිසා මකා දමා තිබේ.
“මීට වසර 100 කට පෙර මාඕ වැන්නන්ට පුවත්පවලට ලිවිය හැකි ය. දැන් අපි ශබ්ද නැගුවහොත්, අපට ක්ෂණිකව අතුරුදහන් විය හැකි ය.” ඔහු පැවසී ය.