22.9 C
Sri Lanka
Saturday, August 9, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ආණ්ඩුව ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට ලෑස්ති වෙන්න- ටිල්වින් සිල්වා

ආණ්ඩුව ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට ලෑස්ති වෙන්න- ටිල්වින් සිල්වා

ආණ්ඩුව ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට ලෑස්ති වෙන්න…
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.
ආණ්ඩුවක් කළ යුතුව තියෙන්නේ වසංගත තත්වයක් තුළ ජනතාවට සහන දීමයි. නමුත් ආණ්ඩුව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගන්න බැරි තරම් ඉහළ යන්න ඉඩ ඇර ලබා දී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත් වීමට ඉතාම අසීරු වෙලා. ඒ නිසා වහාම ජනතාවට සහන ලබාදිය යුතුයි කියලා බල කරන්න සිදුවෙනවා. කොරෝනා තත්වය නිසා ජනතාවගේ හඬ නගන්නවත් බැරිවෙලා තියෙන්නේ. සියලුම පීඩාවන් නිවාසවලට වෙලා දරාගන්න සිදුවී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර සිටිනවා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිල අඩු කරන්න කියලා. වර්තමාන ආණ්ඩුවබලය ගත්තේ  සුරංගනා කතා ගොඩක් කියලයි. බඩුමිල අඩු කරන හැටි, මුදල් හොයන හැටි දන්නවා කියලා පම්පෝරි ගැහුවා. නමුත් දැන් අත්‍යවශ්‍යම ද්‍රව්‍යවල මිල පාලනය කරන්නවත් මැදිහත් නොවෙනවා නම් ඒක මොන ආණ්ඩුවක්ද? ව්‍යාපාරිකයන්ට ලාභ ලබාදීම සඳහා කටයුතු කරනවා මිස පොදු ජනතාවට සහන ලබා දෙන්නේ නැහැ. මෙය ඉතාමත්ම අසාධාරණ තත්වයක්. කොරෝනා පිට දාලා ආණ්ඩුවට ගැලවෙන්න බැහැ. බඩු මිල ඉහළ යාම පාලනය නොකිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.
ජනතාවට පහසුකම් සලසනවා කියලා බලය ගත්තු ආණ්ඩුවේ බරත් ජනතාවට දරන්න වෙලා තියෙන්නේ. බඩු මිල වැඩි වෙන්නේ ඒ නිසා. අත්‍යවශ්‍ය ආහාරවල ඉඳලා සබන්, දත් බෙහෙත්, ඖෂධ හැම භාණ්ඩයකම මිල වැඩිවෙලා තියෙන්නේ. වැඩිවීමේ නතර වීමක් නැහැ. ආණ්ඩුව මැදිහත් වී කිසියම් පාලනයක් කළ යුත්තේ මේ නිසයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට විධායක බලය, තුනෙන් දෙකේ බලය සහ 20 සම්මත කරලා ගත්තු බලය යොදවලා භාණ්ඩ මිල පාලනය කරන්න බැරිවෙලා. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ පොල්තෙල් ලීටරයක් රු. 480යි. දැන් 655 දක්වා වැඩිවෙලා. සීනි බදු සහන දීලා වංචා කළා වගේම පොල් තෙල්වලටත් වංචා කළා. ඒ අතර විෂ පොල්තෙල් ඇවිත් හිඟයක් ඇතිවෙලා මිල වැඩි කළා. විෂ පොල්තෙල්වලට සිදුවුණු දෙයක් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම ජනවාරි මාසයේ රු. 180ට තිබුණු පරිප්පු 260 දක්වා වැඩිවෙලා. ජනාධිපතිතුමා ජාතිය අමතලා රු. 65ට දෙනවා කිව්ව පරිප්පු මිල මේ තරම් වැඩිවෙලා. සීනි රු. 85 ඉඳලා 220 දක්වා විතර වැඩිවෙලා. සීනි හැංගූ ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි දීලා ආණ්ඩුව මිලට ගත්තා. 85ට තිබුණු සීනි දැන් රු. 130ක් වෙලා. වියළි මිරිස්, හාල් මැස්සන් කරවල, අර්තාපල්, වගේ සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වේගයෙන් වැඩිවෙලා. ඊට අමතරව ගෑස් හිඟයක් නිර්මාණය කර රු. 363කින් මිල වැඩි කරන්න අවසර දුන්නා. තෙල් මිලත් වැඩි කළා. හැබැයි ජනතාවගේ ආදායම් වැඩිවෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ මිලත් වැඩිවෙන්න ඉඩ ඇරලා. අගෝස්තු 19වැනිදා ගැසට් පත්‍රයක් කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගහලා තිබුණු මිලටත් වඩා ඖෂධ මිල වැඩිවෙන්න අවස්ථාව ලබාදුන්නා. මේකෙන් සිදුකළේ උපරිම මිලක් නියම කර තියෙන මිලටත් වඩා වැඩි කර දීමයි.
මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව සැප්තැම්බර් 09වැනිදා නිකුත් කළ නිවේදනයකින් හදිසි නොවන භාණ්ඩ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියලා නම්කළ ලයිස්තුවක් තියෙනවා. මේ භාණ්ඩ ආනයනය කිරීමේදී ණයවර ලිපි විවෘත කරන්න සම්පූර්ණ මුදලම බඳින්න ඕනෑ. මුලදී අත්තිකාරම් මුදලක් ගෙවා භාණ්ඩ ගෙනාවට පස්සේ සම්පූර්ණ මුදල ගෙවන්න හැකියාව කලින් තිබුණා. විදේශ විනිමය හිඟයක් තිබෙන නිසා මේ වගේ පැලැස්තර විසඳුම් යොදනවා. මේ නිසා භාණ්ඩ හිඟයක් වගේම තිබෙන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමත් සිදුවෙනවා. මේ නිවේදනයෙන් දක්වා තිබෙන භාණ්ඩ ලයිස්තුවේ ජංගම දුරකතන වැනි කෝවිඞ් තත්වය හමුවේ අත්‍යවශ්‍ය දේවල් පවා තිබෙනවා. අධ්‍යාපන කටයුතු ලබන්න, ගෙදර ඉඳලා රාජකාරී කටයුතු කරන්න අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙලාවේ දරුවන්ට උගන්වන්න ඕනෑ කරන ජංගම දුරකතන පවා මේ ලැයිස්තුවට දාලා තියෙනවා. මේ නිසා හිඟයක් ඇතිවී මිල වැඩි වීමෙන් සාමාන්‍ය ජනතාවට ගන්න බැරි තත්වයක් ඇතිවෙනවා. කොවිඞ් තත්වය හමුවේ හුමාලය අල්ලන්න අත්‍යවශ්‍ය වෙන ජලය උණු කරන උපකරණ පවා මේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම යට ඇඳුම් වැනි දේ ඇතුළත් කිරීමෙන් ආණ්ඩුව හාස්‍යයට ලක්වී තිබෙනවා. ආණ්ඩුව සහ ආණ්ඩුව වෙනුවෙන් කඬේ ගිය අයට නම් ඇඳුම් ගැන ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව වගේ අනෙක් අයත් රෙදි නැතිව ඉන්නවා කියලා හිතනවා ඇති.
ආරථිකය හැසිරවීම සඳහා දැක්මක්, වැඩපිළිවෙළක් නැහැ. සියලු නිෂ්පාදන මාර්ග දුර්වල කරලා කොල්ලකාරී ආර්ථිකය ක්‍රියාත්මක කරනවා. අපේ රට සතුව තිබුණු කර්මාන්ත විශාල ප්‍රමාණයක් විනාශ වෙන්න ඇරියා. නැත්නම් විකුණා දැම්මා. මේ නිසා ආදායම් මාර්ග ඇහිරී ණයට කාලා ජීවත් වෙන්න පුරුදු කළා. ඒ ණය ගෙවාගන්නවත් බැරි තත්වයක් දැන් තියෙන්නේ. ආදායම් උත්පාදනය නොකිරීමේ ප්‍රතිඵලයක් හැටියට මේ ණය ගෙවන්න රජයේ ආදායමට වඩා වැඩි මුදලක් වැය වෙනවා. වැරදි අර්ථික ප්‍රතිපත්ති විසින් මුදල් අච්චු ගහමින් බඩුමිල වැඩිවීමට තවත් අනුබල දී තිබෙනවා. රට තුළ නිපදවන වැඩපිළිවෙළකුත් නැතිව පිටින් ගේන එකත් නැවැත්වුවාම භාණ්ඩ හිඟයක් ඇතිවී මිල විශාල වශයෙන් වැඩි වෙනවා. අනවශ්‍ය වියදම් අඩුකර, ණය ගැනීම සීමා කර නිෂ්පාදනය වැඩි කරන කිසිම වැඩපිළිවෙළක් නැහැ. අතීසාරයට අමුඩ ගහනවා වගේ දවස ගෙවාගන්න මොනවා හරි කරනවා. මේ නිසා ප්‍රශ්නය තව තවත් වැඩිවී ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙනවා. ආණ්ඩුවක වගකීම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට පොදු ජනතාවට ලබා දීමයි. නමුත් ආණ්ඩුව වටේ ඉන්න ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට සිනි බද්ද, පොල්තෙල් බද්ද, ඖෂධ උපරිම මිල නියම කිරීම ඇන්ටිජන් කිට් ගෙනත් ජාවාරම් කරන්න ඉඩ දීම වගේ ක්‍රියාමාර්ගවලින් අසීමිත ලාභ ලබන්න අවස්ථා ලබාදෙනවා. රටට ආදායම් මාර්ග ගේන ව්‍යාපාරිකයින් පවා ඉතාම අසීරු මට්ටමකට වැටී ණයවර ලිපි විවෘත කර ගැනීමට පවා නොහැකිව ඉන්නවා.
මිල පාලනය කරන්න හැකියාව තිබියෙදී පවා නොකර සිටීමෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වී ඉන්නවා. ආණ්ඩුවට ඡන්දය දීපු අවංක බොහෝ දෙනා දැන් ආණ්ඩුව අත්හැරලා තියෙන්නේ. මේ සියලු දෙනාම එකතුවී ජනතාවට සහන ලබාදෙන්න කියලා හඬක් නැගිය යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම වෙනුවෙන් හඬ නගන ලෙසයි. අපි ඒ වෙනුවෙන් ආණ්ඩුවට දිගටම බල කරමින් ඉන්නවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වහාම අඩු නොකරන්නේ නම් දැවැන්ත තමහජන විරෝධයකට මුහුණ දෙන්න සූදානම් විය යුතු වෙනවා. ආණ්ඩුවේ මුග්ධ, තකතීරු ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිවන අර්බුද ජනතාව මත පටවන්න එපා. කොවිඞ් හමුවේ කැපකිරීම් කරන්න පටන් ගන්න ඕනෑ ආණ්ඩුව ඇතුළෙන්මයි. නමුත් මහ බැංකුවේ අධිපතිකම කරන්න බලාගෙන ඉන්න ඇමතිවරයා තමන්ගේ විශ්‍රාම වැටුප රු. ලක්‍ෂ ගණනකින් ලබාගන්න කටයුතු කළා. ආණ්ඩුවේ පිඟන්වලට ඇති තරම් බෙදා ගනිමින් ජනතාවට කන් හැඳිවලින් බෙදනවා. කැපකිරීම් කරලා රට වෙනස් කරන්න නම් පාලකයෝ ඒ ආදර්ශය දෙන්න ඕනෑ. එහෙම නොකර ජනතාවට පටි තද කරගන්න කියන එකේ තේරුමක් නැහැ. ජනතාව හැම පැත්තකින්ම කැපකිරීම් කරමින් ඉන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments