අනුර බී. සෙනෙවිරත්නගේ සංස්කරණයකී.
විසිවන සියවසේ ලොව සිදු වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙන 2001 වසරේ සැප්තැම්බර් 11 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යොර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර විස්සකි. එක්සත් ජනපද මගී ප්‍රවාහන ජෙට් යානා හතරක් පැහැර ගත් ත්‍රස්තවාදීන් ඉන් දෙකක් එහි උස් ගොඩනැගිලි දෙකෙහි ගැටෙන්නට සලස්වා සිදුකළ එම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දහස් ගණනකට ජීවිත අහිමි වී ය.
ප්‍රහාරකයන් පළමු යානය එදින උදෑසන 08:46 ට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරුදිග කුලුනේත්, දෙවන යානය උදෑසන 09:03 ට දකුණුදිග කුලුනේත් ගැටීමට සැලැස්වූ අතර, එයින් ගොඩනැගිල්ලට ගිනි ඇවිලිණි. ඉහළ මහලවල සිටි මිනිසුන් ගොඩනැගිල්ල තුළ සිරවූ අතර, නගරය මුළුමනින් ම දුමාරයකින් වැසී ගියේ ය. මහල් 110කින් යුත් ගොඩනැගිලි දෙක දැවැන්ත දූලි වලාවක් ඇතිකරමින් මුළුමනින් ම බිමට සමතලා වන්නට දෙපැයක්වත් ගත නොවී ය. වොෂින්ටන් අගනුවරට නුදුරින් පිහිටි එක්සත් ජනපද හමුදා මුලස්ථානය වන පෙන්ටගනයේ බටහිර මුහුණත ද තවත් ගුවන් යානයක් මගින් විනාශ කෙරුණි. ඒ, උදෑසන 09:37 ට ය.
මෙහි දී සිදුවූ වඩාත් නිර්භීත ක්‍රියාව වන්නේ, පැහැර ගැනීමට ලක්වූ හතරවැනි යානයේ සිටි මගීන් දිවි නොතකා ප්‍රහාරකයන් සමඟ යානය තුළ දී ම සටන් කිරීම යි. එහි ප්‍රතිඵලය ලෙස එම යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටීම නිසා සිදුකරන්නට ගිය තවත් දරුණු ප්‍රහාරයක් වැළකී තිබේ. එසේ නොවූයේ නම්, ප්‍රහාරකයන්ගේ අරමුණ වන්නට ඇත්තේ, එම යානය වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ ගැටීමට සැලැස්වීම යැයි විශ්වාස කෙරේ.
ප්‍රහාරයට පැමිණියවුන් 19 දෙනාට අමතරව මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරවලින් ගුවන්යානා හතර තුළ සිටි සියලු ම මගීන් සහ කාර්ය මණ්ඩල ඇතුළු පුද්ගලයන් 2,977 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් මරණයට පත්ව තිබුණේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙනි. එම ප්‍රහාරයෙන් 2,606 දෙනෙකු ඒ මොහොතේ දී ම හෝ තුවාල ලබා ඉන්පසුව මරණයට පත් වූ බව පැවසේ.
පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයෙන් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජීවිතක්ෂයට පත් ලාබාල ම තැනැත්තිය වූයේ ක්‍රිස්ටීන් ලී හැන්සන් නම් වයස අවුරුදු දෙකක දැරියකි. ප්‍රහාරයට යොදා ගත් ගුවන් යානයක් තුළ සිටි ඇය මරණයට පත්ව තිබුණේ ඇගේ මාපියන් ද සමඟ ය. මෙම ඛේදවාචකයෙන් මරණයට පත් වූ වයස්ගත ම පුද්ගලයා වන්නේ සිය බිරිඳ සමඟ විවාහ මංගලෝත්සවයකට සහභාගී වීම සඳහා යමින් සිටි අවුරුදු 82 ක් වයසැති රොබට් නෝටන් නමැත්තෙකි.
පළමු ගුවන් යානය ද්විත්ව ගොඩනැගිල්ලෙහි ගැටෙන අවස්ථාවේ දී එම ගොඩනැගිල්ල තුළ 17,400 දෙනෙකු පමණ සිටි බවට ගණන් බලා තිබේ. පළමු යානය ගැටුණු ස්ථානයට ඉහළින් පිහිටි මහල් ඇතුළත සිටි කිසිවෙකුට දිවි බේරා ගැනීමට නොහැකි වී ඇත. නමුත්, දෙවැනි යානය දකුණු කුලුනෙහි ගැටීමට පෙර එම යානය ගැටුණු ස්ථානයට ඉහළින් සිටි 18 දෙනෙක් එම ස්ථානයෙන් පහළට දිවවිත් දිවි බේරාගැනීමට සමත් වූ හ.
ජීවිතක්ෂයට පත්වූ අය අතර රටවල් 77කට අයත් පුද්ගලයන් සිට ඇති අතර, අනතුරට පත්වූවන් බේරාගැනීමේ කටයුතුවල නිරතව සිටි සේවකයන් 441 දෙනෙකු ද එහි දී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊට අමතරව විෂ දුම් සහ සුන්බුන් අතර රාජකාරි කරමින් සිටි ගිනි නිවන භටයන් ඇතුළු සහන සේවකයන් දහස් ගණනක් එහි දී තුවාල ලැබූ අතර, ඒ හේතුවෙන් සමහරු පසුව රෝගාතුර වූ හ..
මුස්ලිම් ලෝකයේ පවතින ගැටුම්වලට එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් වගකිව යුතු යැයි දිගු කලෙක සිට චෝදනා කරමින් සිටි ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් ඛයීඩා සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සිට මෙම ප්‍රහාරය සැලසුම් කර තිබිණි. අල් ඛයීඩා සංවිධානයේ 19 දෙනෙකුගෙන් යුත් පිරිසක් කණ්ඩායම් හතරකට බෙදී මෙම ගුවන් යානා පැහැර ගැනීම සඳහා ක්‍රියාත්මක වී තිබුණි. ඒ, පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් තුනක් සහ හතර දෙනෙකුගෙන් යුත් එක් කණ්ඩායමක් වශයෙනි. පෙන්සිල්වේනියාවට කඩා වැටුණු යානය පැහැර ගන්නා ලද්දේ හතර දෙනාගෙන් යුත් කණ්ඩායම විසිනි. ගුවන් නියමුවෙකු ලෙස පුහුණුව ලත් පුද්ගලයෙකු සෑම කණ්ඩායමකට ම ඇතුළත් කොට තිබුණු අතර, ඔවුන් ඒ සම්බන්ධ පුහුණුව ලබා තිබුණේ එක්සත් ජනපදයේ ම පිහිටි ගුවන් යානා පියාසර පුහුණු පාසලක ය. ප්‍රහාරකයන්ගෙන් 15 දෙනෙක් බින් ලාඩන් උපත ලද සෞදි අරාබියේ පුරවැසියන් ය. දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ය. ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු ඊජිප්තු ජාතිකයෙකු වූ අතර, අනෙකා ලෙබනන් ජාතිකයෙකි.
ප්‍රහාරය සිදු වී මාසයක් ගත වන්නටත් පෙර ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමට කටයුතු කළ එවක ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් බුෂ් මේ සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ හමුදාවක් යොදා ගත්තේ ය. එම ආක්‍රමණයේ අරමුණ වූයේ අල් ඛයීඩා ජාලය මෙලොවින් තුරන් කිරීම සහ බින් ලාඩන් අල්ලා ගැනීම ය. බිල් ලාඩන්ගේ උපදෙස් මත සැප්තැම්බර් 11 ප්‍රහාරය සැලසුම් කළ බවට චෝදනා ලත් ඛලීඩ් ශේයිඛ් මොහමඩ් 2003 දී පකිස්තානයේ දී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය සම්බන්ධ චෝදනා යටතේ ග්වන්තනමෝ සිර කඳවුරේ රඳවා සිටී.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවන්ට 2011 වනතුරු ම බින් ලාඩන් අල්ලා ගැනීමට නොහැකි වූ අතර, අවසානයේ 2011 මැයි 02 වැනි දින ඔහු මරා දැමුණේ පකිස්ථානයේ ‘ඇබටාබාද්’ ප්‍රදේශයේ සැඟව සිටිය දී ය. බින් ලාඩන් මරා දමනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරක් ඔබාමා පරිපාලනය ඉදිරිපත් කළ කරුණු සාවද්‍ය බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රවීණ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන සෙයිමෝර් හර්ෂ් වරක් ප්‍රකාශ කළේ ය.
ඔසාමා බින් ලාඩන් පකිස්තානයේ සැඟවී සිටි ස්ථානය සොයා ඔහු ඝාතනය කිරීම හුදෙක් ම ඇමෙරිකානු ක්‍රියාවක් ලෙස වොෂින්ටනය කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ඔහු, පකිස්තාන් යුද හමුදා ප්‍රධානීන් සහ එරට බුද්ධි අංශ විසින් ද ඔසාමා බින් ලාඩන් සොයා යාමේ මෙහෙයුම පිළිබඳව දැන සිටි බවත්, ඒ සඳහා ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයට උදව් කර ඇති බවත් ඛදබාදබ ඍැඩසැඅ දf ඊදදන සඟරාවට ලිපියක් ලියමින් හෙළිකර තිබේ.
එහෙත්, ඔසාමා බින් ලාඩන් ඝාතනය හෙලා දකිමින් පකිස්තානය කියා සිටියේ එම ක්‍රියාව එරට ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බව යි. එම ඇමෙරිකානු මැදිහත් වීම නිසා පකිස්තාන් ආණ්ඩුව රට තුළ දුෂ්කර තත්ත්වයකට පත් වූ අතර, දෙරට අතර සබඳතා ද වසරක පමණ කාලයක් යනතෙක් පිරිහුණු තත්ත්වයක පැවතිණි.
‘ඇබටාබාද්’ ඇමෙරිකානු ආක්‍රමණය සම්බන්ධයෙන් පිරික්සීමට පකිස්තාන රජය කොමිෂන් සභාවක් ද පිහිටුවනු ලැබුව ද, එමගින් අනාවරණය කරගත් කරුණු තවමත් පවතින්නේ රාජ්‍ය රහසක් ලෙස ය. ඇමෙරිකානුවන්ට බින් ලාඩන් සොයා ගැනීමට උපකාර කළ බවට චෝදනා ලද ශකිල් අෆ්රිඩි නම් වෛද්‍යවරයාට 2012 මැයි මාසයේ දී තිස් වසරක සිර දඬුවම් නියම වූ අතර, පසුව එම සිරදඬුවම වසර දහයකින් ලිහිල් කරනු ලැබී ය.
ඔහු මෙම සිරදඬුවමට භාජනය වූයේ, රාජ්‍ය ද්‍රෝහී චෝදනාව යටතේ ය. ඇමෙරිකානු රහස් ඔත්තු සේවයට බින් ලාඩන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම පහසු කිරීම සඳහා වෛද්‍ය ශකිල් අෆ්රිඩි, ඇබටාබාද් නගරයෙහි ව්‍යාජ සායනයක් පවත්වාගෙන ගොස් තිබේ. බින් ලාඩන්ගේ පවුලේ ජාන සමග සැසඳීම සඳහා අල් ඛයිඩා නායකයා සැඟව සිටි නිවසේ ළමයකුගේ රුධිර සාම්පලයක් ලබා ගැනීම මෙම සායනයේ අරමුණ වූ බව ද හෙළි වී තිබේ. වෛද්‍ය අෆ්රිඩි නිදහස් කරන ලෙස කලකට ඉහත දී ඉල්ලා සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ඔහු විසින් ඉටු කරන ලද වැඩකොටසින් දෙරටට ම යහපතක් සිදුව තිබෙන බව සඳහන් කළා ය.
ඔසාමා බින් ලාඩන් ඩොලර් දෙකෝටි විසිනව ලක්ෂයක් පමණ වූ සිය පෞද්ගලික වත්කම් අල්ලා දෙවියන් වෙනුවෙන් ජිහාඩ් ඉස්ලාමීය ව්‍යාපාරයට කැප කරන මෙන් ඉල්ලීමක් කර ඇති බව ඔහුගේ අන්තිම කැමති පත්‍රයෙන් හෙළි වෙයි. ඔහුගේ ඝාතනයෙන් පසු අල් කයිඩා සංවිධානයේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ එහි හිටපු දෙවන අණදෙන නිලධාරී අයිමන් අල් සවාහිරී ය.
ඔසාමා බින් ලාඩන් ඝාතනය ලක්කළ ද, අල් ඛයීඩා සංවිධානය තවමත් ක්‍රියාත්මක ය. විහේෂයෙන් ම උප සහරා අප්‍රිකානු රටවල එම සංවිධානය තවමත් ඉතා ශක්තිමත් ය. එමෙන්ම, ඇෆ්ගනිස්ථානය තුළ ද එහි සාමාජිකයෝ සිටිති. විසි වසරකට පසුව එක්සත් ජනපද හමුදා පසුගිය දා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ බැවින්, අල් ඛයීඩා සංවිධානය නැවත වතාවක් ශක්තිමත් විය හැකි බවට බොහෝ දෙනා බිය පළකරති.
සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ගෙවී ගිය කාලය ඇතුළත ගුවන් ගමන් පිළිබඳ ආරක්ෂාව තව තවත් දැඩි කිරීමට මුළු මහත් ලෝකය ම පියවර ගෙන තිබේ. ගුවන් යානා සහ ගුවන් තොටුපොල ආරක්ෂාව තර කිරීම සඳහා ඔර්බිචදරඒඑසදබ ීැජමරසඑහ ්ාපසබසිඑර්එසදබ නමැති ආයතනය එක්සත් ජනපදය තුළ පිහිටුවන ලද්දේ ඒ අනුව ය.
මුළුමනින් ම බිමට සමතලා වූ නිව්යෝර්ක් හි ද්විත්ව ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ සුන්බුන් ඉවත් කිරීම සඳහා මාස අටක පමණ කාලයක් ගත වූ අතර, මේ වනවිට එම භුමිය ඨරදමබා ’ැරද ලෙස නම්කර තිබේ. එම ස්ථානයේ වෙනස් හැඩයකින් යුත් ගොඩනැගිලි නැවත ඉදි වූ අතර, අද එහි පවතින්නේ අනුස්මරණ ගොඩනැගිල්ලක් සහ කෞතුකාගාරයකි. එහි ඉදිවුණු ප්‍රධාන ගොඩනැගිල්ල වන ධබැ උදරකා ඔර්ාැ ක්‍ැබඑැර නම් කර ඇත්තේ ‘ත්‍රුැාදප ඔදඇර’ යනුවෙනි. ප්‍රහාරයෙන් කඩා වැටුණු ලෝක වෙළඳපොල ද්විත්ව ගොඩනැගිල්ලේ උතුරුදිග කුලුන උසින් අඩි 1,368 ක් වූ අතර, ඊට වඩා උසැති ‘ත්‍රුැාදප ඔදඇර’ නමැති මෙම නව කුලුන අඩි 1,776ක් උස ය. පෙන්ටගනයේ නැවත ඉදිකිරීම් නිමවීමට වසරකට ආසන්න කාලයක් ගතවූ අතර, නැවත පෙන්ටගනයට කාර්ය මණ්ඩලය යොදවනු ලැබුවේ 2002 වසරේ අගෝස්තු මාසයේ දී ය.
සැප්තැම්බර් 11 ප්‍රහාරයට ‘එකට එක කිරීමක්’ ලෙස 2001 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදය ආරම්භ කළ දීර්ඝතම යුද්ධයේ දී ඇෆ්ගනිස්ථාන සහ පකිස්ථාන යුද කලාපය තුළ පුද්ගලයින් 241,000 ක් පමණ මියගොස් තිබේ. මියගිය අයගෙන් 71,000 කට වැඩි පිරිසක් සිවිල් වැසියන් වන අතර, 33,000 කට ආසන්න සංඛ්‍යාවක් හයහතර නොදත් අහිංසක ළමුන් සහ ළදරුවන් ය.
එම කුරිරු ඝාතනවලට තිත තබමින් ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා ඉවත් කරගැනීමට වත්මන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ගන්නා ලද තීරණය ඇමෙරිකාව ලද දරුණු පරාජයක් ලෙස සමහරු ලඝුකොට සැලකුව ද, එය තවත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමට එක්සත් ජනපද පරිපාලනය ගත් සාධනීය පියවරක් ලෙස ද සමහරු සලකති.
කෙසේවුව ද, මේ වනවිට මුස්ලිම් ලෝකය වෙලාගෙන තිබෙන සුන්නි ඉස්ලාම් ආගමික පාර්ශවයේ මූලධර්මවාදී යාන්ත්‍රණයක් වන ‘සලාෆි’ වැනි ආගමික අන්තවාදයන්ට ගොදුරුවූවන් සැප්තැම්බර් 11 ප්‍රහාරය වැනි හෝ ඊට වඩා ප්‍රබල ප්‍රහාර ලොව ඕනෑ ම තැනෙකට එල්ල කළ හැකි බැවින්, ජාතික ආරක්ෂාවට මුල් තැන දීම සෑම රටකට ම අයත් ප්‍රමුඛ වගකීම බවට පත්ව තිබේ.